බැදුම්කර කොමිසමට අසත්‍ය සක්කි දුන්නාට ඇමති රවිට අධිකරණයෙන් නියෝගයක්

අගෝ 29, 2019

    මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව ජනාධිපති කොමිසමට අසත්‍ය සාක්ෂි ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වු පරීක්ෂණයට අදාලව සති දෙකක් ඇතුළත රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශ ලබා දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අමාත්‍ය රවී කරුණානායක මහතාට අද නියෝග කලේය.

    මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ මෙම සිද්ධියට අදාළව අමාත්‍ය රවි කරුණානායක මහතාගෙන් ජුලි මස 07 දා ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. ඉන් අනතුරුව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා පෙනී සිටින ලෙස කරුණානායක මහතාට අවස්ථා කිහිපයක දී දැනුම් දීම සිදුකළ ද මෙතෙක් ඔහු ප්‍රකාශයක් ලබාදීමට නොපැමිණි බව රහස් පොලීසිය අධිකරණයට දන්වා සිටියේය. මේ අනුව පරීක්ෂණ කටයුතුවල යම් ප්‍රමාදයක් ඇති බව ඔහු අධිකරණයට දැනුම් දුනී.

    කරුණානායක මහතාගේ අදාළ ප්‍රකාශය සටහන් කර ගැනීමට නොහැකිවීම හේතුවෙන් පරීක්ෂණවල යම් ප්‍රමාදයක් ඇති වී තිබෙන බව පෙනී යන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළාය.

    පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් නොවැම්බර් මස 21 වන දා අධිකරණයට ඉදිරිපත් කරන මෙන්ද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට දැනුම් දුන්නාය.

    Latest News