මහ බැංකු බැඳුම්කර නඩුව යයි - PTL සභාපති ජෙෆ්රිට රට යන්නත් අවසර

දෙසැ 04, 2019

    මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන විත්තිකරු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකා රජය යොමුකළ ලිපි ලේඛන සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව අධ්‍යයනය කරමින් සිටින බව නීතිපති අද කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට අද දැනුම් දුනි.

    සම්පත් අභයකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව කැඳවනු ලැබිණ.

    උදර්පණ නීතිය යටතේ අර්ජුන් මහේන්ද්‍රන් මහතා ගෙන්වා ගැනීමට අදාළ ලිපි ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් සිංගප්පූරු රජය වෙත යොමුකළ බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණයට දන්වා සිටියා.

    සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් එම ලේඛන අධ්‍යයනය කරමින් සිටින බවත් ලේඛන රැසක් පවතින හෙයින් වැඩිදුරටත් අධ්‍යයනය කිරීම සඳහා කාලය අවශ්‍ය බව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් ඔහු කියා සිටියේය.

    ඉන් අනතුරුව සිංගප්පූරු නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බව පාරින්ද රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    අධිකරණය මගහැර විදේශගතව සිටින අජාන් ගාර්දිය පුංචිහේවා නැමැති නඩුවේ දහවන විත්තිකරුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබිණ.

    ප්‍රමාද දෝෂයකින් සිතාසි නිසි පරිදි යොමු කර නොමැති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා කරුණු ඉදිරිපත් කිරිමෙන් පසු ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් විත්තිකරුට නැවතත් අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි නිකුත් කෙරිණ.

    මෙම නඩුවේ විත්තිකරුවෙකු වු පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ජෝසප් ඇලෝසියස් මහතාට ජනවාරි 6 වනදා තෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට විදේශ ගතවීමට අවසර ඉල්ලීමක් ඔහුගේ නීතිඥයා මගින් ඉදිරිපත් කෙරිණ.

    එම ඉල්ලීම පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල රුපියල් ලක්ෂ 25 ක් බැගින් වූ පුද්ගලික ඇප දෙකක් මත අධිකරණය භාරයේ රඳවා ඇති ඇලෝසියස් මහතාගේ විදේශ ගමන් බලපත්‍රය මුදාහැරීමට නියම කළේය. එම ශරීර අපකරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු රජයේ විධායක නිලධාරීයෙකු විය යුතු බවත් අනෙක් ඇපකරු පවුලේ ලඟම ඥාතියෙකු විය බවටත් නියෝග කළා.

    ඉන් අනතුරුව විත්තිකරුවන් වෙත පැමිණිල්ල විසින් ලබා දී තිබෙන ලේඛන වල තත්වය පරික්ශාකර අධිකරණය හමුවේ කරුණු දැක්වීම සඳහා කල් ලබාදෙන ලෙස විත්තියේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීම් කලා.

    ඒ අනුව නඩුව නැවත මාර්තු මස 31 වනදා කැදවීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ.

    Latest News