ෆොන්සේකා ඝාතන තැතට අදාළ 3වැනි විත්තියේ ප්‍රකාශය; සිය කැමැත්තෙන්

අගෝ 29, 2019

    එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා ඝාතනය කිරීමට තැත් කිරීමට අදාළ නඩුවේ තුන්වන විත්තිකරු පොලිසියට ලබාදී ඇති පාපොච්චාරණය ඔහු විසින් ස්වෙච්ඡාවෙන්ම ලබාදී ඇති එකක් යැයි කොළඹ මහාධිකරණය අද(29) තීන්දු කර තිබේ.

    2006 වසරේ කොළඹ යුද්ධ හමුදා මූලස්ථානය තුළ එවක යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා ඝාතනය කිරීමට තැත් කිරීමට අදාළව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින තම්බයියා ප්‍රකාශ් නමැති විත්තිකරු පොලිසියට ලබාදී ඇති පාපොච්චාරණය ඔහු විසින් ස්වෙච්ඡාවෙන්ම ලබාදී ඇති එකක් බව මේ අනුව කොළඹ මහාධිකරණය තීන්දු කර ඇත.

    කොළඹ මහාධිකරණයේ පූර්වගාමි මහධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

    නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින තම්බයියා ප්‍රකාශ් නමැත්තා පොලිසියට ලබාදී ඇති පාපොච්චාරණය ඔහු විසින් ස්වේච්ඡාවෙන් සිදුකරන ලද්දක් නොවන බවට ඔහුගේ නීතිඥ වරු විසින් මීට පෙර අධිකරණය හමුවේ කරුණු මතුකර තිබුණි.

    පසුව එම පාපොච්චාරණයේ ස්වේච්ඡා භාවය පරික්ෂා කිරීම සඳහා පැවැත්වූ විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරු විජේරත්න මහතා විත්තිකරු විසින් සිදු කළ එම පාපොච්චාරණය ඔහු විසින් ස්වෙච්ඡාවෙන්ම සිදුකරන ලද්දක් යැයි තීරණය කර ඇත.

    අනතුරුව නඩුවේ වැඩිදුර විභාගය ඔක්තෝම්බර් මස 23 වනදාට කල් තැබිණි.

    එදින නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර සිටින සන්මූගලිංගම් සූරිය කුමාර් නමැත්තා විසින් පොලිසියට ලබාදුන් පාපොච්චාරණයේ ස්වේච්ඡා භාවය පරික්ෂා කිරීමේ විභාගය පැවැත්වීමට නියමිතව තිබේ.

    2006 වසරේ අප්‍රේල් මස 25 වනදා කොළඹ යුධ හමුදා මූලස්ථානය තුළ දී එවකට යුද හමුදාපතිව සිටි සරත් ෆොන්සේකා මහතා ඉලක්ක කරගනිමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඔහු ඝාතනය කිරීමට තැත් කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 27 යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

    Latest News