සටන් පාඨවලින් පමණක්, රට ගොඩනැගිය නොහැකි (විඩියෝ)

අගෝ 25, 2019
  • සටන් පාඨවලින් පමණක්, රට ගොඩනැගිය නොහැකි බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    මුතූර්හි, ඊයේ පැවති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ, අභියෝගවලට මුහුණ දෙමින්, රට ගොඩනැගීමේ ශක්තිය ඇත්තේ තම සන්ධානයට පමණක් බවයි.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...

    “හදිස්සියේ ඡන්දයක් තියෙනවා. රට පාලනය කරන්න බැහැ කියනවා. අපි බෝම්බෙන් පස්සේ රට පාලනය කරන්න බැහැ කියලා පස්සට ගියේ නැහැ. ඔන්න අපි ආපහු රට හදලා දුන්නා. රට ඉදිරියට ගෙනිච්චා. අන්න ඒ ශක්තිය තියෙන්නේ අපිට විතරයි. අපි ඇති කරපු පෙරමුණ ආණ්ඩුවට විතරයි. වෙන කාටවත් මේක කරන්න බැරි වුණා. මේගොල්ලෝ බැහැ කියලා දුවලා ගියා. අපි පුලුවන් කියලා බැනුම් අහලා ප්‍රතිඵල ලබලා දුන්නා. දැන් තියෙන්නේ මෙතන ඉඳන් ඉදිරියට යන්න. රැකියා වැඩි කරන්න ඕනේ. අපේ ණය ආපහු ගෙවන්න ඕනේ. ඊළඟ අවුරුදු පහේදී අපි අපනයන ආර්ථිකයක් ඇති කරමු. කෘෂිකර්මය අපනයනයට හරවමු. අපනයන කර්මාන්ත ඇති කරමු. අපනයන සේවා ඇති කරමු. සංචාරකයෝ ලක්‍ෂ 43ක් කරමු. මේ ශක්තිය තියෙනවා අපිට මේකෙන් ගොඩ එන්න. රට ජාතිය බේරගත්තා කියලා සටන් පාඨ කියලා රටක් බේරගන්න බැහැ. අපි ඔක්කොම එකතු වෙලා ඊළඟ අවුරුදු 15 ගමන යමු කියලා මං කියන්න කැමතියි“ යැයි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    ගම්මාන හා නගර යා කෙරෙන ඒකාබද්ධ මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ, මුතූර් මංසන්ධියේ සිට වාකරේ දක්වා දිවෙන මාර්ගයේ, ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම නිමිත්තෙන් උත්සවය සංවිධාන කෙරිණ. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත දිවයින පුරා ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කෙරෙන මාර්ග ගණන 124ක්. 

    මාවනැල්ලේ සිට ගම්පොළ දක්වා දිවෙන නව මාර්ගයේ ඉදිකිරීම් අවසන් බව, මහාමාර්ග සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය පවසයි.

    කොළඹ-මහනුවර මාර්ගයේ සිට කඩුගන්නාව හා පේරාදෙණිය නගර මඟහරිමින් ඉතා කෙටි කාලයකින් නුවරඑළිය සහ හැටන් දක්වා ගමන් කිරීමට එමගින් හැකියාව ලැබේ. වත්මන් රජය යටතේ, 2015 වසරේ දී ආරම්භ කෙරුණු ව්‍යාපෘතියට වැය කෙරුණු මුදල, රුපියල් මිලියන 760ක්. නව මාර්ගය ඔස්සේ, මාවනැල්ලේ සිට හෙම්මාතගම හරහා ගම්පොළ නගරයට ඇත්තේ කිලෝ මීටර 28ක් පමණයි.

    Last modified on ඉරිදා, 25 අගෝස්තු 2019 20:17

    Latest News