සන්ධාන ගැටලු ලිහුවා: අලූත් සන්ධානය හා වැඩපිලිවෙලක් වහාම අවශ්‍යයි

අගෝ 22, 2019

    ඉදිරි ජනාධිපතිවරණයේදි එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකත්වය පිළිබඳව පුළුල් ජාතික සන්ධානයක් බිහිකිරීමට එකඟතාවන් ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    රටේ වත්මන් දේශපාලන තත්වය පිළිබඳවත් කරුණු පැහැදිලි කිරීම සඳහා ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ මහලේකම්වරයා, “පක්ෂයක් හැටියට 2014 නොවැම්බර් මාසේ 18 වෙනිදා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වලා අපි එවකට පැවතිච්චි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් වුණා. අනතුරුව ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයාට සහයෝගය ලබාදුන්නා. එතුමා හා එතුමාගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙක් විසින් රාජ්‍ය මූල්‍ය තමන් අතට අරගෙන තමන්ට රුචි විදිහට අධික පොළියට ණය අරගෙන අනාගත පරපුර බරපතල ණය අර්බුදයකට දමමින්, ඒ වගේම කිසිම විනිවිද පෙනෙන ස්වභාවයකින් තොරව අති විශාල ධනසක්න්ධයක් මේ සංවර්ධන ව්‍යායාමය පිටුපසට දාගෙන මංකොල්ල කන බව අපට හැඟී ගිය නිසා.

    ඒ වගේම මේ රටට අප විශ්වාස කළා යම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනසක් අවශ්‍යයි. විශේෂයෙන්ම එවකට පැවතිච්ච අත්තනෝමතික ජනාධිපති බලතල ඉවත් කරලා රට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කළ යුතුයි. රටේ බිය සැක දුරු කළ යුතුයි, සමාජය බලාත්මක කළ යුතුයි කියලා අප විශ්වාස කළා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන් රටට එල්ල වී තිබූ යම් යම් වටලෑම්වලට බුද්ධිමත්ව මුහුණ දී ඒවයින් රට ගලවා ගත යුතුයි කියලා අපි කල්පනා කළා. ඒ වගේම අපි විශ්වාස කළා නීති රීති පද්ධතියක් ගෙනල්ලා රට විනය ගරුක රටක් බවට පරිවර්තනය කරන්න ඕනේ කියලා. එම සියළු බලාපොරොත්තු ඇතිව තමයි අපි එම ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක, පොදු පක්ෂයකින්, පොදු ලාංඡනයකින් පැමිණිච්ච මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාට පොදු ප‍්‍රතිපත්ති මාලාවක් එක්ක ඡන්දය ජයග‍්‍රහණය කරන්න කටයුතු කළේ.

    අද දේශපාලන වේදිකාවේ ඒ බලමුළු බලකඳවුරු ඉතාම පැහැදිලියි. එක පැත්තකින් රාජපක්ෂවරු කිසිම වෙනසක් නැතිව පැරණි මිනිස්සු, පැරණි තාලවලින්, පැරණි ආකාරයට, සමහරවිට ඊටත් වඩා නරක ආකාරයට අද කරලියට ඇවිල්ලා තමන්ට මේ රට ගලවාගත හැකියි. මේ රටේ ආරක්‍ෂාව තහවුරු කළ හැකියි,තමන්ට මේ රට ඉදිරි මගක ගෙන යා හැකියි, තමන් මේ රට බලගතු ඊශ‍්‍රායලයක් වගේ, එහෙම නැත්නම් සිංගප්පූරුවක් වගේ, ඇමරිකාවක් වගේ තත්වයකට පරිවර්ථන කරනවාය කියලා පොරොන්දු දෙමින් යන බව අපට පේනවා. ඒ කඳවුර පැත්තෙන් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දෙසටවත් මේ රටේ රාජ්‍ය මූල්‍ය මුහුණ දෙන ණය බර ප‍්‍රශ්නය පිළිබඳවත් මේ රටේ කුසලතාවයට මුල්තැන දීම පිළිබඳවවත් අපට බලාපොරොත්තු තියා ගන්න බැහැ. 2015 තිබුණටත් වඩා නරක තත්වයක් තමයි එතැන අපට පේන්න තිබෙන්නේ.

    ඊ ළඟට විකල්ප අපේක්‍ෂකයෙක් හැටියට අනුර කුමාර දිසානායක මැතිතුමා ජනතා විමුක්ති පෙරමුණ පොදු ලකුණකින්, පොදු පක්ෂයකින් පොදු අපේක්‍ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනවා කියලා දැන් ප‍්‍රකාශ කර තිබෙනවා. ඒ ගැන අපි සතුටුවන අතර එතුමාට සුභ පතනවා. නමුත් අප තවමත් විශ්වාස කරනවා ඒ පොදු අපේක්‍ෂකයාට රාජපක්ෂ පවුල්වාදී කල්ලිය මේ රට තවත් භයානක අනතුරකට යාමෙන් ගලවා ගන්න හැකියාව නොමැති බව. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරෙන් ශක්තිමත් අපේක්‍ෂකයෙක්, ශක්තිමත් වැඩපිළිවෙලක්, ශක්තිමත් න්‍යාය පත‍්‍රයක්, ශක්තිමත් කණ්ඩායමක් ඉදිරිපත් විය යුතුයි කියා අප විශ්වාස කරනවා.

    මේ රටේ ඡන්ද සංයුතිය සහ ඒ ක්‍රියාකාරීවන ආකාරය දෙස බැලූවහම විශේෂයෙන්ම 2015 නොහිටපු ලක්ෂ 10 ක පමණ නව තරුණ ඡන්ද ප‍්‍රමාණයක් තිබෙන අවස්ථාවක හා අද වන විට ලක්ෂ 40 ක පමණ කාටවත් නොබැඳි, කොයි පක්ෂයකටවත් අයත් නැති ඡන්ද දායක ප‍්‍රමාණයක් සිටින අවස්ථාවක, ඊ ළඟ මැතිවරණයේදී ලක්ෂ 130 ඉක්මවා ගිය වලංගු ඡන්ද සංඛ්‍යාවක් තිබෙන තත්වයකදී අපි විශ්වාස කරන්නේ නැහැ පුළුල් සන්ධානයකින් ඉදිරිපත් නොවන අපේක්‍ෂකයෙකුට මේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කඳවුරෙන් ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙයි කියා. ඒ නිසා තමයි අපි එම පුළුල් සන්ධානය යෝජනා කළේ. දැන් අපට සතුටින් කියන්න පුළුවන් ගිය සෙනසුරාදා අපි ඉතාම සාර්ථක සාකච්ඡා වටයක් පවත්වලා සියළු පක්ෂ නායකයෝ එක්සත් ජාතික පක්ෂයේ නායකයොත් සමග ඒ සන්ධානය සම්බන්ධයෙන් තිබූ සෑම ගැටළු සහගත තත්වයක්ම අප ලිහා ගත්තා. විසඳුම් ලබාගත්තා.

    දැන් එම සන්ධානයේ නාමය, ලකුණ, කාර්යාලය ලේකම්වරයා, නායකත්වය හෝ නායකත්ව මණ්ඩලය හෝ අපේක්‍ෂකයා තෝරන ආකාරය පිළිබඳව අනාගත මහ මැතිවරණ තරඟ කරන අවස්ථාවලදී ක්‍රියා කරන ආකාරය ගැන ගැටළු ඇත්තේ නැත. ඒ පිළිබඳව අපි එකඟතාවයකට ඇවිල්ලා තිබෙන්නේ.

    ඒ වගේම පසුගිය අවුරුදු 5 ක පමණ පාලන කාලය තුළ මේ ජනාධිපතිතුමා, අගමැතිතුමා, අප ඇතුළු ඇමති මණ්ඩලය සහ පාර්ලිමේන්තු කණ්ඩායම අපට අත්දැකීමක් තිබෙනවා. මේ රජය කරගෙන ගිය දේවල් පිළිබඳව. ඇතැම් දේවල් රජය සාර්ථකව කලා, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස පුළුල් කිරීම ආදී ක්‍ෂෙත‍්‍රවල. ඒ වගේම අවශ්‍ය වනවා රට දාල යන්නේ නැති, රටේ නැවත කැරළි ඇති වෙන්නෙ නැති ආගමික ගැටුම් ඇති වෙන්නැති සමාජ වාතාවරණය ඇති කරගන්න පුළුවන් ප‍්‍රජාතාන්ත‍්‍රික වැඩපිළිවෙලක්. ඒ නිසා නිකම්ම නිකං හුදු සන්ධානයක්, අපේක්‍ෂකයෙක් නෙමෙයි අප බලාපොරොත්තු වෙන්නේ අලූත් සන්ධානයක්, අලූත් වැඩපිළිවෙලක්, අලූත් නායකත්වය කණ්ඩයමක් සමග රටට අලූත් බලාපොරොත්තුවක් තමයි අපගේ ඉල්ලීම.

    ඒ නිසා අපි මේ පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමා ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයේ නායක කාරකාදීන්ගෙන් අප ඉල්ලා සිටිනවා හැකි ඉක්මනින් මේ කටයුත්ත කරන්න කියලා. මේ සම්බන්ධයෙන් මේ රජය බලයට පත් කරන්න, මේ රජයට අභියෝග එල්ල වූ ඔක්තොම්බර් මාසයේ කුමන්ත‍්‍රණය වැනි අවස්ථාවේදී ඒවාට නිර්භයව මුහුණ දී ඉදිරියට යන්න කටයුතු කළ පිරිසක් හැටියට, ඒ වගේම මේ රජය කිසිම ආකාරයකට, මේ ආණ්ඩුව මොනම විදිහකටවත් අපකීර්තියට පත් වන විදිහට, කිසිම ප‍්‍රකාශයකින් හෝ ක්‍රියාකාරකමකින් දායක නොවිච්ච පිරිසක් හැටියට අපි බොහොම බලගතු දේශපාලන ආයාචනයක් කරනවා. ඒ වගේම අපි එක දිගටම මේ රටේ දේශපාලන බලය පවුල්වාදී කණ්ඩායම විසින් ගසා ගන්නකන් ඉවසිලිවන්තව බලා ඉන්න පිරිසකුත් නෙමෙයි. ඒ නිසා ඉතා ඉක්මනින් ඒ පිළිබඳ තීරණ අරගෙන මේ පොදු ජනතාවගේ ප‍්‍රාර්ථනය ඉෂ්ට කරන්න කියලා අපි ආයාචනා කරනවා“ යැයි පැවසීය.

     

     

     

     

     

    Latest News