සජිත්ගේ ජයග්‍රාහි ගමන හෙල උරුමය අරඹයි: SLFP කැස්බෑව සහ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරු ගැලවේ

ඔක් 18, 2019

    ලොව දිනන, සොඳුරු සංවර්ධිත දේශයක් නිර්මාණය කිරීමට එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය පක්ෂ දෙකක් ලෙස නොව, එක් කණ්ඩයමක් ලෙස රට ගොඩ නගන ගමනේ පෙරමග ගමන්කරුවන් විය යුතු බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළකළේ ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනය මත, ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික මහා සමුළුවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් එක්වෙමිණි.

    මෙම සමුළුව අද (18) දින කොළඹ, කැම්බල් පිටියේදී පැවැත්විණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.......

    “ඒකීය ශ්‍රී ලංකාවක්, සම්බුද්ධ ශාසනයට මුල් තැන ලබාදීම යන ජාතික හෙළ උරුමය දරන ප්‍රතිපත්ති මමත් දරන ප්‍රතිපත්ති බව ප්‍රකාශ කරනවා. ඒ අතර ලොකු වෙනසක් නැහැ. එක්සත් ජාතික පක්ෂය හා ජාතික හෙළ උරුමය එකට අත්වැල් බැඳගෙන සැබෑ දේශප්‍රේමීත්වය, සැබෑ දේශ හිතෛශිත්වය, රටේ ඒකීය භාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරමින්, සම්බුද්ධ ශාසනයට මුල්තැන ලබා දී අනෙකුත් ජාති ආගම් වලට ලබා දිය යුතු ස්ථානය රැකවරණය ලබා දෙමින් සෞභාග්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩ නගන්නට එකට එක්ව කටයුතු කරමු.

    මාතෘ භූමියේ රාජ්‍ය පාලනයේ අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කර අලුත් ගමනක් ආරම්භ කරනවා. දේශපාලන හිතවත්කම් මත තනතුරු, වරදාන වරප්‍රසාද ලබා දුන් යුගයට තිත තබනවා. හැකියාවට දක්ෂතාවට මුල්තැන ලබා දී පිරිසිදු රාජ්‍ය පාලනයක් නිර්මාණය කරනවා. නූතන ත්‍රස්තවාදය, කුඩු ජාවාරම විනාශ කිරීමේ වගකීම යුද ජයග්‍රහණයේ සැබෑ රණවිරුවා වන සරත් ෆොන්සේකා මහතාට ලබා දෙනවා. රටට පිලිලයක් වි තිබෙන දූෂණය, වංචාව, සොරකම රාජ්‍ය තන්ත්‍රයෙන් පමණක් නොව මුළු ජන සමාජයෙන්ම අතුගා දමන්නට දැඩි ලෙස කැප වෙනවා. මෙරට ලක්ෂ 220 ක් පමණ වන පුරවැසියන්ගේ අනාගත ගමන එක පවුලක් පමණක් තීරණය කිරීම භයංකාර දෙයක්, එක පවුලක වරිග සභාවක් රටේ අනාගතය තීන්දු කරන ක්‍රමවේදය එළඹෙන ජනාධිපතිවරණයෙන් අපි සහමුලින්ම පරාජය කරනවා”යනුවෙන් පැවසීය

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැස්බෑව සංවිධායක නීතීඥ රජිත කොඩිතුවක්කු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක චමින්ද සුභසිංහ යන මහත්වරු සහ දෙමළ ප්‍රගතිශීලී පක්ෂයේ නියෝජිතයන්, තෙලිඟු දේශප්‍රේමී පක්ෂයේ නියෝජිතයින්, ජාතික නිදහස් තරුණ පෙරමු‍ණේ නියෝජිතයින් සමඟින් 250 දෙනෙකුගෙන් යුත් නියෝජිත කණ්ඩායමක් සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් මෙම සමුළුවට එක්වූහ.

     

     

     

    Latest News