ඇමති පාඨලී: ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම දේශපාලන අධිකාරිය ගත යුතුයි

ජූලි 11, 2019

    ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වූ සෑම අවස්ථාවක එහි දේශපාලන වගකීම, කාටහරි පවරලා, කවුරුහරි වැරදිකාරයා කර, ත්‍රස්තවාදයට වක්‍රාකාරයෙන් සහයෝගය ලබාදීම සිදු කළේ යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

    මේ ප්‍රශ්නය විසඳීමට අද විධිමත් ත්‍රස්ත විරෝධී වැඩපිළිවෙලක් අවශ්‍ය බවත් නව ත්‍රස්තවාදයට මුහුණ දීමට බුද්ධි අංශ ප්‍රතිසංවිධානයක් සිදු විය යුතු බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (11) පාර්ලිමේන්තුවේ පැවසියීය. ඒ ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාවේ විවාදයට එක්වෙමිනි.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    පාස්කු සිදුවීමේ ක්‍රියාදාමය දෙස බැලුවාම ආණ්ඩුවට ආරක්ෂක අංශවලට බුද්ධි අංශවලට එහි වගකීමෙන් ගැළවෙන්න බැහැ.එයට පිළිතුර ආණ්ඩුව ඉල්ලා අස්වීම ද?රට ඒ ආකාරයට අරාජික කරල,රාජ්‍ය තවදුරටත් දුර්වල කිරීම සඳහා අන්තර්ජාතික ත්‍රස්තවාදයකට ඉඩකඩ ලබාදීමද? නැතිනම් මේ ප්‍රශ්නය දේශපාලන භේදයෙන් ඔබ්බට ගිය ප්‍රශ්නයක් හැටියට සළකලා,ත්‍රස්තවාදයට එරෙහිව සියලු දේශපාලන පක්ෂ, සියලු ක්‍රියාදරයන් එකට එකතු වෙලා,මෙය පරාජය කිරීම සඳහා ඒකාබද්ධ ජාතික වැඩපිළිවෙලකට ක්‍රියාත්මක විම ද කියල විමසා සිටින්න කැමතියි.

    මේ රටේ හැමදාම සිදු වුනේ,ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදු වූ සෑම අවස්ථාවක ම ඒ පිළිබඳ දේශපාලන වගකීම,කාටහරි දාලා,කවුරුහරි වැරදිකාරයා කරලා, ත්‍රස්තවාදයට වක්‍රාකාරයෙන් සහයෝගය ලබාදීම තමයි සිදු කළේ.

    මේ ප්‍රශ්නය විසඳීම සඳහා අද විධිමත් ත්‍රස්තවිරෝධී වැඩපිළිවෙලක් අවශ්‍යයි.අද ලෝකයේ නව ආර්ථිකයක් තිබෙන්නේ. නව තාක්ෂණයක් තිබෙන්නේ.ඒ වාගේම නව ත්‍රස්තවාදයක් මේ ලෝකේ තිබෙන්නේ.නව ත්‍රස්තවාදයට මුහුණ දීම සඳහා ඒ සඳහා ම වූ බුද්ධි අංශ ප්‍රතිසංවිධානයක් ඒ සඳහා ම වූ ආරක්ෂක මෙහෙයුම් ප්‍රතිසංවිධානයක් සිදු කර අප රටක් හැටියට මේ සමාජයේ ආරක්ෂාව තහවුරු කරලා,ජනතාවගේ විශ්වාසය තහවුරු කිරීමට කටයුතු කරන්න ඕන යැයි ද අමාත්‍යවරයා පැවසීය

    Latest News