ශ්‍රී ලංකා-කොරියානු ජාතික වෘත්තීය පුහුණු ජන අයිතියට (වීඩියෝ)

අගෝ 20, 2019

    නව වැඩ ලෝකයට ගැලපෙන පුරවැසියෙකු බිහි කිරීමේ අරමුණෙන් ඉදි කෙරුණු ශ්‍රී ලංකා-කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය අද විවෘත කෙරිණ.

    ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය සතු විශාලතම තාක්‍ෂණික ආයතනය මෙයයි. නව වෘත්තීය පුහුණු ආයතනය විවෘත කළ අග්‍රාමාත්‍යවරයා එහි නිරීක්‍ෂණ චාරිකාවක ද නිරත විය. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාගවලින් පසු සරසවි වරම් නොලබන තරුණ පිරිස රටේ සංවර්ධනයට දායක කර ගැනීම ආයතනය පිහිටුවීමේ අරමුණයි. ඒ අනුව, තරුණ පිරිස් ව්‍යවසායකත්ව හා තාක්‍ෂණික වෘත්තිකයන් ලෙස බිහි කිරීමේ අපේක්‍ෂාවෙන් නව ආයතනය ස්ථාපනය කර ඇති අතර, එය පිහිටුවා ඇත්තේ, කොළඹ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ. 2016 වසරේ දී ආරම්භ කෙරුණු ව්‍යාපෘතියට අමෙරිකානු ඩොලර් මිලියන 12කට අධික මුදලක් වැය කර තිබේ. මෝටර් රථ, ඉදිකිරීම්, පරිගණක, ඉංජිනේරු සහ අධි පීඩන යන්ත්‍ර තාක්‍ෂණය ඇතුළු තාක්‍ෂණික පුහුණු විෂයන් ගණනාවක් පිළිබඳව මෙහිදී හැදෑරීම් සිදු කළ හැකියි.

    ශ්‍රී ලංකාව තුළ මුල්වරට රොබෝ තාක්‍ෂණය පිළිබඳ පාඨමාලාවක් හඳුන්වාදීම ද ශ්‍රී ලංකා-කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනය මගින් සිදු කෙරේ. පූර්ණ කාලීන, අර්ධකාලීන පාඨමාලා සහ ඩිප්ලෝමා ද මෙම ආයතනයෙන් පිරිනැමීමට නියමිතයි. එන්. වී. කියු 3, 4 මට්ටමේ සහ අපොස උසස් පෙළ විෂයන් තුනක් සමත් තරුණ-තරුණියන්ට මෙහි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව උදාවේ. පූර්ණකාලීන පාඨමාලා නොමිලයේ ක්‍රියාත්මකයි. නව ව්‍යාපෘතිය පුහුණු ආයතනය, දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල, ආපන ශාලා, නවාතැන් ඇතුළු සියලු පහසුකම්වලින් සමන්විතයි. තොරතුරු තාක්‍ෂණ විද්‍යාගාරයක් ද මෙහි පිහිටුවා තිබේ. අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ද, කොරියානු නියෝජිතයන් ඇතුලු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on අඟහරුවාදා, 20 අගෝස්තු 2019 20:28

    Latest News