මුළු රටම කඳවුරු දෙකකට බෙදී ගොස් අවසන් : ටිල්වින්

අගෝ 17, 2019

    රට වනසන මජර දේශපාලන සංස්කෘතිය පරාජය කිරීම සියලු පාර්ශවයන්ගේ ජාතික වගකීම සහ කාර්යභාරය වන්නේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා අවධාරණය කර සිටියි.

    රට මේ වන විට කඳවුරු දෙකකට පැහැදිළිව බෙදී අවසන් වී තිබෙන තත්ත්වය හමුවේ ජනාධිපතිවරණයේදී ජනතාව තීරණය කළ යුත්තේ රටේ පාලන බලය රට විනාශ කරන කඳවුරට ලබා දෙනවාද නැද්ද යන්න පිළිබඳව යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

    ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ අදහස් පළ කළේ එම පෙරමුණේ මුලස්ථානයේ සිකුරාදා (16) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේ ද කීය.

    ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ කතාබහ ඇතිවෙලා තිබෙනවා. මේ වනවිටත් මහින්ද රාජපක‍ෂ කණ්ඩායමෙන් ගෝඨාභය රාජපක‍ෂ අපේක‍ෂකයා ලෙස ඉදිරිපත් වී තිබෙනවා. ඒජාපය රනිල්ද, සජිත්ද, කරුද කියලා තීරණයක් ගන්න බැරුව ඉන්නවා. ඒ අතර දැන් සමාජයෙන් මතුවෙන යෝජනාවක්ද තිබෙනවා. 2015දී මහින්ද රාජපක‍ෂ කඳවුර පරාජය කළ බලවේග අතර කතාබහක් තිබෙනවා, ගෝඨාභය රාජපක‍ෂ පැමිණීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය අනතුරකට පත්වෙන නිසාත් ඒකාධිපතිත්වයකට රට ගමන් කළ හැකි නිසාත් එයට එරෙහිව එක පෙරමුණක් ලෙස පොදු අපේක‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි කියලා. අපිත් හිතනවා මහින්ද රාජපක‍ෂ කඳවුරේ දේශපාලන සංස්කෘතිය පරාජය කළ යුතුයි කියලා. එසේ කළ යුත්තේ ගෝඨාභය නිසා නොව මහින්ද රාජපක‍ෂ කඳවුර නියෝජනය කරන දුෂ්ට දේශපාලන සංස්කෘතිය නිසයි.

    රාජපක‍ෂ දේශපාලන කඳවුර නියෝජනය කරනු ලබන්නේ නීතිය නොසලකන පිරිසක්. දූෂිතයින් පිරිසක්. දේශපාලනය පාදඩකරණය කළ පිරිසක්. රටේ කුමන හෝ අපරාධයකට සම්බන්ධ පිරිසක්. එනිසා එම දේශපාලන සංස්කෘතියම පරාජයට පත්කළ යුතුයි. එනිසාම 2015දී එම කඳවුරට එරෙහිව ඡන්ද ලක‍ෂ 62ක් ලබාදුන්නා. එම ඡන්දවලින් බලයට පැමිණි වර්තමාන පාලනය එම දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළේ නැහැ. එම දේශපාලන සංස්කෘතියම පවත්වාගෙන ගියා. එය නැවත නැවත සිදුවිය යුතු නැහැ. රාජපක‍ෂ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පරාජයට පත්කළ හැක්කේ ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට පමණයි.

    රාජපක‍ෂ දේශපාලනයට එරෙහිව තිබෙන එකම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයත් එයින් ඉදිරිපත් වන අපේක‍ෂකයා ප්‍රමුඛ කඳවුරත් පමණයි. ඒ වෙනුවට වෙනත් පුද්ගලයින් යෝජනා කිරීම හෝ නැවත 2015ට යෑම මේ මොහොතේ යථාර්ථය නෙමෙයි. ඒ වගේම දේශපාලනයෙන් තොර අපේක‍ෂකයෙක් ඉදිරිපත් කළ යුතු යැයි සංවාදයක් තිබෙනවා. අපේ රටේ විවිධ පුද්ගලයින්ට පීඩාකාරී අත්දැකීම් තිබුණු පමණින් උපාධියක් තිබුණු පමණින් රටක් වෙනස් කරන්න පුළුවන්කමක් නැහැ. එවැනි පුද්ගලයින් වටා පරිණත දේශපාලන කණ්ඩායම් නැත්නම් ඔවුන්ට ප්‍රතිපත්තියක් නැත්නම් ගම් මට්ටමට දිවෙන පරිපාලන ව්‍යුහයක් නැත්නම් රටක් සංවර්ධනය කරන්නේ කොහොමද..? එය කළ හැක්කේ මහජන ව්‍යාපාරයකට පමණයි. දේශපාලන පක‍ෂ අදාළ නැහැ කියන කතාව ශ්‍රීලනිපයට එජාපයට, පොදුජන පෙරමුණට අදාළ වෙන්න පුළුවන්. නමුත් අපට අදාළ නැහැ. රටට අලූත් ආදර්ශයන් පෙන්වපු, සංවිධාන විනයක් සහිත ව්‍යාපාර විශාල ප්‍රමාණයක් හා එක්වුණු ජනතා මධ්‍යස්ථානයක් දැන් ගොඩනගා තිබෙනවා. එම මධ්‍යස්ථානය වටා එක්වීම හැර ජනතාවට වෙන විකල්පයක් නැහැ. එම මධ්‍යස්ථානය ජාතික ජන බලවේගයයි. ජාතික ජන බලවේගයේ අපේක‍ෂකයා 18වැනිදා අපි රටට හඳුන්වා දෙනවා. අපේක‍ෂකයන් කිහිප දෙනෙක් හිටියට දැන් අපේ රටේ තිබෙන්නේ දේශපාලන කඳවුරු දෙකක් පමණයි. රට ගොඩනගන්න සූදානම්, ජනතාවගේ ආශිර්වාදය සහිත ජනතාව බලාපොරොත්තු වූ ජාතික ජන බලවේගය නියෝජනය කරන අපේක‍ෂකයා සහිත කඳවුර සහ රට ණය කරපු, රට විනාශ කරපු රටේ සම්පත් කොල්ලකාපු අනෙක් කඳවුර එම දේශපාලන කඳවුරු දෙකයි.

    ජනතාවට තෝර ගන්න තිබෙන්නේ රට හදන කඳවුර හෝ රට විනාශ කරපු කඳවුරයි. පැරණි ක්‍රමයට රජවරු වැඳ පුදාගෙන වැඩවසම් ක්‍රමයක් සහිත ඉතා දුෂ්කර පාලනයක් යටතේ යටත් වැසියන් ලෙස දුක් විඳින කඳවුරද එසේ නැත්නම් රට හදන, කඳවුරද කියලා ජනතාවට තෝරා ගැනීමේ අවස්ථාවක් ලැබී තිබෙනවා. සමහරු කියනවා, සියලූ දෙනා ඡන්දයට එන්නේ පෙරමුණු හදාගෙන කියලා. මහින්ද රාජපක්ෂලා පෙරමුණක් හදාගත්තා කියනවා. අපි නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගයයි. සුපුරුදු පරිදි රාජපක‍්ෂ කඳවුර තමන්ට එරෙහිව හිටපු විවිධ පිරිස් තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිබෙනවා. ඊට පෙර ජනාධිපතිවරණවලදී රාජපක‍ෂලාට එරෙහිව හිටපු සරත් මනමේන්ද්‍ර පවා තමන්ගේ ගොඩට දාගන්න කටයුතු කරමින් තිබෙනවා. ඊළාම් රාජ්‍යයක් ගැන කතාකරපු වර්ධරාජා පෙරුමාල්ලාගේ සහාය ගන්න තරම් රාජපක්ෂලා බංකොලත් වෙලා.

    නමුත් අපි සමග ඉන්නේ දේශපාලනය පිළිබඳ හොඳ කියවීමක් තිබෙන, දර්ශනයක් සහිත, දැක්මක් සහිත ජනතාවක් නියෝජනය කරන පිරිසක්. ඒ වගේම අපේ ජනතා මධ්‍යස්ථානයට අටවා ගන්නා සංවිධාන නැහැ. එහි මංගල රැලිය තමයි 18වැනිදා ගෝල්ෆේ්ස් පිටියේදී පවත්වන්නේ. එය අපේ රටේ දේශපාලනයේ අලූත් හැරවුම් ලක්ෂයක් වෙනවා. අපේ රටට අලූත් ගමනක් නිර්මාණය කරන දිනයක් වෙනවා. එම නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා රට රකින, රට හදන බලවේගය සමඟ අත්වැල් බැඳගන්න කියලා. ප්‍රගතිශීලී කතා කියමින් ජනතාව මුලා කරන ප්‍රකාශවලට ගොදුරු වෙන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා".

    මේ වනවිටත් විද්වතුන්, වෘත්තිකයින් පිරිසක් විසින් විශාල සාකච්ඡාවකින් පසුව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කොට තිබෙනවා. ඒවා අපිට පිළිගන්න පුළුවන් ප්‍රතිපත්ති මාලාවක්. ඒ වගේම කාලයක් තිස්සේ සාකච්ඡා වට ගණනාවකින් පස්සේ අපි ජාතික ජන බලවේගය ගොඩනගා තිබෙනවා. එයට වමේ පක‍ෂ, බහුජන සංවිධාන, ගොවි සංවිධාන, ධීවර සංවිධාන, වෘත්තීය සමිති, කලාකරුවන් ඇතුළු ප්‍රගතිශීලී බලවේග නියෝජනය කරනවා. අපේ රටේ සියලූ දෙනා බලාපොරොත්තු වෙන, සියලු ගුණාංගයන් සහිත අපේක‍ෂකයා ඉදිරිපත් කරන්න පුළුවන් ජාතික ජන බලවේගයට පමණයි.

    මේ වන විටත් ඉදිරිපත් වී සිටින ගෝඨාභය රාජපක‍ෂ සියලුම ආගමික නායකයින් ඉදිරිපත් කරපු නිර්දේශ කඩලා තිබෙන්නේ. දැනටමත් ඔහුට විශාල නඩු ප්‍රමාණයක් තිබෙනවා. කුමන හෝ ආගමකට ගරු කරන ජනතාවකට ඔහුට ඡන්දය දෙන්න බැහැ. කුමන හෝ ආගමකට ගරු කරන ආගමික නායකයන්ට ඔහුට ආශිර්වාද කරන්න, පිරිත් නූල් බඳින්න පුළුවන්කමක් නැහැ. තමන්ගේ නුසුදුසුකම් ඔප්පු කරපු පුද්ගලයෙක්. අපේ රටේ ඇතැම් පිරිස්වලට සක්විති රජ මානසික්ත්වයක් ඇතිවෙලා තිබෙනවා. අපේ රටේ සමහරු තවමත් වැඩවසම් ක්‍රමයකට කැමතියි. රජවරුන්ට වන්දනා මාන කරපු, යටත් වැසියන් සේ හැසිරෙන්න සමහරු කැමැතියි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය තොරොම්බල් කරන අයම එවැනි තත්වයකට පත්වීම කණගාටුදායකයි. තමන්ට ඒකාධිපතියෙක් අවශ්‍ය යැයි ඔවුන් අපේක‍ෂා කරනවා.

    මේ අදහස් නූතන, ශිෂ්ටසම්පන්න සමාජයකට ගැලපෙන්නේ නැහැ. අපි එවැනි වැඩවසම් ලක්ෂණ ප්‍රතිෙක‍ෂ්ප කරන, නූතන පරපුර නියෝජනය කරන බලවේගයක්. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරන අපේක‍ෂකයා දේශපාලන පරිණතභාවයක් තිබෙන, අනෙක් කඳවුරෙනේ ඉදිරිපත් කරන අපේක‍ෂකයාට තරගයක් දිය හැකි සියලූ සුදුසුකම් සම්පූර්ණ කරපු අපේක‍ෂකයෙක්. ජනතාවට කැත නැතුව බය නැතුව තමන්ගේ ඡන්දය ලබාදෙන්න පුළුවන්, ඡන්දය ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව පසුතැවීමක් ඇති නොවෙන ජනතාවගෙන් ලබාගත් ඡන්දයට වගකියන අපේක්ෂකයෙක් ජාතික ජන බලවේගයෙන් 18වැනිදා හඳුන්වා දෙනවා. මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කමිටු සාමාජික, නීතිඥ සුනිල් වටගල සහෝදරයාද සහභාගි විය.

    Latest News