ධීවරයන්ට හදිසි උපදෙස් මාලාවක්

ජූලි 23, 2019

    ධීවරයන් වෙනුවෙන් හදිසි ආරක්ෂක උපදෙස් මාලාවක් අද සිට ක්‍රියාත්මක වන බව, රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

    ඒ අයහපත් කාලගුණයේ අවදානම් තත්වය තවදුරටත් පවතින බැවින්. පැවති කාලගුණ තත්වයට මැදිව අන්තර් ජාතික මුහුදු ප්‍රදේශයේ සිට මාලදිවයින වෙත යොමු කළ ධීවරයින් පිළිබඳව හා ඉදිරි කාලගුණය මත ගත යුතු ආරක්ෂක ක්‍රමවේද පිළිබඳව අදාළ නිලධාරීන් සම්බන්ධකර ගැනීමෙන් පසුව, අමාත්‍යවරයා මෙම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදුනි. මේ අනූව, ධීවර රැකියාව සඳහා යන සියලු ධීවරයින් ජීවිත ආරක්ෂක කබා පැළඳ සිටීම අනිවාර්ය වෙයි.

    ගුවන් විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කර තිබීම අනිවාර්ය බවට දුන් තවත් එක් උපදෙසක්. එමෙන්ම, වෙනත් රටවල මුහුදු ප්‍රදේශවලට ප්‍රවේශවීමෙන් ද වැළකිය යුතුයි. නොදැනුවත්ව හෝ වෙනත් රටක මුහුදු ප්‍රදේශයකට ඇතුළු වූයේ නම්, එය දැනගත් විගස ආසන්නම සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය වෙත කඩිනමින් දැනුම්දිය යුතුයි. අත්‍යවශ්‍ය බෙහෙත් ළඟ තබා ගැනීම ද අනිවාර්ය වන අතර, සෑම පැය දෙකකට වරක් ගොඩබිම සමඟ සම්බන්ධතා පවත්වා ගැනීම ද අනිවාර්ය කොට තිබේ. මෙම උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙන් සිය ආරක්ෂාව සළසා ගන්නා ලෙස, අමාත්‍යවරයා ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 10:36

    Latest News