ධීවර කටයුතු යළි නගා සිටුවීමට පත්කල කමිටුවේ අතුරු වාර්තාව ඉදිරිපත් කරයි

නොවැ 11, 2020

    කොවිඩ් දෙවෙනි රැල්ල හේතුවෙන් අඩාල වු ධීවර කටයුතු යළි නගා සිටුවීම සදහා ධීවර අමාත්‍යංශයට විශේෂඥ උපදෙස් ලබා ගැනීමට පත්කල කමිටුවේ අතුරු වාර්තාව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාට ඉදිරිපත් කරයි.

    කොවිඩ් දෙවන රැල්ල හමුවේ අඩාල වු ධීවර ක්ෂේත්‍රය නැවත පුනරුත්ථාපනය කර නගා සිටුවීම සදහා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගේ හා ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ උපදෙස් පරිදි අදාල ක්ෂේත්‍රයේ විශේෂඥ කමිටුවක් පත් කර ඇත.

    එම විශේසඥ කමිටුව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති මහේෂ් ඉන්දික කරුණාතිලක, එම සංගමයේ උපසභාපති මහාචාර්ය මංජු විරසිංහ, හොංකොං විශ්වවිද්‍යලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය මහේෂ් පීරීස්, අංගොඩ බෝවන රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ශ්‍රී ලංකා කායික වෛද්‍ය, සංගමයේ විශේෂඥ වෛද්‍ය චන්ද්‍රා අතපත්තු, කායික විශේෂඥ වෛද්‍ය ශිරානී චනද්‍රගුප්ත යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විතය.

    ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රය මුහුණ දී ඇති වර්ථමාන ගැටළුකාරී තත්වය පිළිබදව ගැඹුරින් සොයා බලා ධීවර ක්ෂේත්‍රය නගාසිටුවීම සදහා අවශ්‍ය කරන නිර්දේශයන් ඇතුලත් අතුරු වාර්තාවක් අද දින (2020.11.11) ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ අමාත්‍යංශ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුළු නිලධාරීන් වෙත ඉදිරිපත් කරන ලදි.

    මෙහිදී මහාචාර්ය චන්ද්‍රජීව මහතා පෙන්වා දෙන ලද්දේ දැනට ටෝලර් සහ බහුදින ධීවර යාත්‍රා මගින් මත්ස්‍ය යන් ඇල්ලීම කරගෙන යන බවත් ගැටළු මතු වී ඇත්තේ කුඩා බෝට්ටු හිමියන් ඇතුළු සාමාන්‍ය ධීවර යාත්‍රාවලින් ධීවර කටයුතුවල යෙදෙන ධීවරයන්ට බවත්ය. එම නිර්දේශයන් ඇතුලත් සම්පුර්ණ වාර්තාවක් ඉදිරි සතියේදී ඉදිරිපත් කිරීමටත් ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහයෝගය ඇතිව පෑලියගොඩ මත්‍යස වෙළද සංකීර්ණය සහ අනෙකුත් ධීවර වරායන් සහ අලෙවි සැල් විවෘත කිරීමට බලාපොරොත්තුව වන බවත් මෙහිදී අමාත්‍යවරුන් විසින් ප්‍රකාශ කලහ.

    මෙම කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ කොරෝනා වෛරසය පවතිතන අතරතුර ධීවර ක්ෂෙත්‍රය නැංවීම සදහා කරුණු 08ක් සහිතව වැඩ පිළිවෙලක් ඉදිරිපත් කර තිබුණි. එම වාර්තාවේ සදහන් කරුණුවලට අනුව ධීවර ක්ෂෙත්‍රයට කොවිඩ් වෛරසය ආසාදනය වීම පිළිබදව අදහස වන්නේ ගැඹුරු මුහුදේ දී ධීවරයන් සිදුකරන ක්‍රියාදාමයන් හේතුකොට ගෙන වෛරසය ආසාදනය වී නොමැති බවත් එවැන්නක් සදහා සාක්ෂි නොමැති බවත්ය.

    බේරුවල ධීවර වරාය හා පෑලියගොඩ මත්‍ස්‍ය සංකීර්ණයන් තුල ධීවරයින්ගේ හා වෙළදුන්ගේත් පාරිභෝගියන්ගේත් හැසිරීම් රටාව හේතු කොට ගෙන වෛරසය අසාදනය වී ඇති බව නිගමනය කළ හැකි බවත්ය. ඒ අනුව පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයහා ධීවර වරායන් විවෘත කරන්නේ නම් තොග වෙළදාම හා සිල්ලර වෙළදාම පැහැදිලිව වෙන්කර සිදු කරන ලෙස මෙහිදී නිර්දේශ කර ඇත. එහිදී අත්සේදීම ඇතුළු වැසිකිලි පහසුකම් සහිත සනීපාරක්ෂක වැඩපිළිවෙලක් යෙදිය යුතු බවද විශ්‍රාමික සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා ධීවර දෙපාර්තමේන්තුවේ නිළධාරීන්ගෙන් සමන්විත නිරීක්ෂන බලකායක් යොදවාගෙන සනීපාරක්ෂක කටයුතු නිසායාකාරව සිදුකරනවාද යන්න නිරීක්ෂණය කලයුතු බවත්ය.

    තවද පෑලියගොඩ වෙළද සංකීර්ණය ඇතුළු ධීවර වරායන් හා අනෙකුත් වෙළද සැල් වීවෘත කිරීමේදී මේවාට ඇතුළු වන ධීවරයන්ගේ හා පාරිභෝගීයන්ගේ නම් ලැයිස්තු ගත කළ යුතු බවත් සතියකට වරක් ඇතුළුවන පුද්ගලයන්ගේ නියදියක් ගෙන PCR පරීක්ෂණ සිදුකළ යුතු බවද පෙන්වා දී ඇත.

    මෙම සාකච්ඡාවේදී ධීවර සංස්ථාවේ අලෙවිසැල් ජාලය නවීකරනය කොට මාළු ලෑලි සංස්කෘතිය ඉවත් කළ යුතු බවට ධීවර අමාත්‍යවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා විසින් ධීවර සංස්ථාවේ සභාපතිවරයා වෙත උපදෙස් ලබා දෙන ලදි. තවද මාළු වෙළදාමෙන් ජීවත් වන ග්‍රාමීය පිරිස් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය හා සාකච්ඡා කොට ග්‍රාම නිලධාරීන් මගින් ලියාපදිංචි කළ යුතු බවද එසේ ලියාපදිංචි කිරීමෙන් පසු ඔවුන්ට මේ පිළිබදව සහතියක්ද ධීවර දෙපාර්තමේන්තුව හරහා නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍යංශ ලේකම්වරියට ධීවර අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි.

    මෙම සාකච්ඡාවට ධීවර දෙපාර්තමේන්තුවේ ධීවර අධ්යික්ෂ ජනරාල් කහවත්ත, ධීවර සංස්ථාවේ සභාපති විශ්රාකමික මේජර් ජනරාල් දවුලගල, ධීවර වරාය සභාපති මේජර් ජනරාල් නිහාල් කැප්පෙටිපොල මහතා ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගී විය.

    Latest News