අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට තෙමසක් පිරෙන විට ඇතැමුන් ආණ්ඩුවට නගන චෝදනා ප‍්‍රතික්ෂේප කරනවා..... ජනපති කියයි

ජූලි 22, 2019

    අපේ‍්‍රල් 21 ප‍්‍රහාරයට තෙමසක් පිරෙන අවස්ථාවේ ඇතැමුන් ආණ්ඩුවට කරන සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව ජනාධිපතිතුමා පවසයි.

    අපේ‍්‍රල් 21 සිදුවීමෙන් පසු ආණ්ඩුවක් ලෙස ඉටුකළ යුතු සෑම වගකීමක්ම ඉටු කළ අතර ඊට අදාළ ත‍්‍රස්ත සංවිධානය ශ‍්‍රී ලංකාවෙන් විනාශ කර දැමුවා පමණක් නොව අදාළ සිදුවීමට ඉඩ සැළසුණු සියලූ කරුණු පිළිබඳ මේ වන විට අපක්ෂපාතී සහ ස්වාධීන පරික්ෂණ සිදු කෙරෙන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය. පෞද්ගලික දේශපාලන න්‍යාය පත‍්‍ර අතේ තබාගෙන අපේ‍්‍රල් 21 සිදුවීම පිළිබඳ තීන්දු තීරණ ඉදිරිපත් නොකරන ලෙස තමා සියලූදෙනාගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිතුමා පැවසීය.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව සඳහන් කළේ අද (22) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති ,සත්විරු අභිමන් 2019, රණවිරු සුබසාධන ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.

    සෑම ආගමකටම ගරු කරන නායකයෙකු වන බැවින් සෑම ආගමික නායකයෙකුටම වන්දනා කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය. යම් ප‍්‍රශ්නයක් තිබේනම් ඕනෑම අයෙකුට විවෘතව තමා සමඟ සාකච්ඡා කළ හැකි අතර අවශ්‍ය නම් මාධ්‍ය ඉදිරියේ වුවද එය සිදුකළ හැකි බව ජනාධිපතිතුමා පෙන්කිවා දුනී. පිටකොන්දක් නැති නායකයෙකු ලෙස පෙන්වීමට ඇතැම් අය උත්සාහ කළ ද තමා පිටකොන්දක් ඇති ඝෘජු නායකයෙකු බව 2015 ජනාධිපතිවරණයේ දී මෙන් ම තවත් අවස්ථා ගණනාවකදීම රටට පෙන්වා ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

    පැවති රජයේ මෙන්ම පවතින රජයේ ද වංචා දුෂණ සෙවීමට කොමිෂන් සභා පිහිටෙව්වේ පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව පැවසූ ජනාධිපතිතුමා ජාවාරම්කරුවන්, පාතාලයින්, අපරාධකරුවන් සහ දුෂිතයන් සමඟ තමා සටන් වදින්නේ ද පිට කොන්දක් ඇති නායකයෙකු ලෙස බව කියා සිටියේය.

    පිටකොන්දක් ඇති අය සිදු කළ යුත්තේ විවේචන සිදු කිරීම නොව ජාවාරම්කරුවන්ගෙන්, අපරාධකරුවන්ගේ සහ දුෂිතයන්ගෙන් රට ගලවා ගැනීමට ගෙන යන සටනට සහය ලබාදී රට ගොඩනැගීමට එක්වීම බව මෙහි දී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

    විවේචන අවශ්‍ය වුවත් එය රට සහ ජනතාව නොමග යවන සහ ආණ්ඩුවක් අපහසුතාවයට පත්කරන බරපතළ විවේචන නොවිය යුතු අතර, අද එම විවේචන කරන සියලූ දෙනා පාවා දෙන්නේ අපේ‍්‍රල් 21 ත‍්‍රස්ත ප‍්‍රහාරය හමුවේ අපගේ විරෝධාර රණවිරුවන් ප‍්‍රමුඛ සමස්ථ ආරක්ෂක අංශ දිවි පරදුවට තබමින් ඉටුකළ විශිෂ්ට මානුෂික මෙහෙවර බව ද කියා සිටියේය. අපේ‍්‍රල් 21 කණගාටුදායක සිදුවීමෙන් මිය ගිය සියලූදෙනා පිළිබඳ තම හදවත් තුළ ඇති වේදනාව එදා මෙන්ම අද දවසේ ද එලෙස ම බවත් එය කිසිදා අමතක කළ නොහැක්කක් බව ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.

    තිස් වසරකට අධික කලක් පැවති කුරිරු ත‍්‍රස්තවාදය අවසන් කළ විරෝධාර රණවිරුවන් වෙනුවෙන් සුබසාධන ප‍්‍රතිලාභ ලබාදීම මෙහිදී සිදු කෙරුණු අතර ති‍්‍රවිධ හමුදාවේ, පොලිසියේ හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන් සහ රණවිරු දරුවන් 1504ක් වෙනුවෙන් මෙම ප‍්‍රතිලාභ ලබාදීම සිදු විය. ඒ අනුව සම්පූර්ණ නිවාස 25ක්, අඩක් නිමවු නිවාස සම්පූර්ණ කරදීමේ ප‍්‍රතිලාභ 925ක්, විරු සිසු ප‍්‍රදීප ශිෂ්‍යාධාර 308ක් සහ පදිංචිය ස`දහා ඉඩම් කොටස් 246ක් ලබාදීම ඇතුළු වැඩසටහන් කි‍්‍රයාත්මක විය.

    ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ද, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ මහතා සහ ති‍්‍රවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.


    Last modified on සදුදා, 22 ජූලි 2019 20:38

    Latest News