අද සිට සිසුන්ට ජනපතිගෙන් කිරි වීදුරුවක්

ජූලි 23, 2019

    පාසල් දරුවන් සඳහා දියර කිරි වීදුරුවක් ලබාදීමේ ජාතික වැඩසටහන අද රත්නපුර,කලවාන,කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ආරම්භ කිරිමට නියමිතයි.

    ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වැඩසටහන නම් කොට ඇත්තේ කිරෙන් සපිරි දැයක් තේමාවෙන්. මෙම වැඩසටහන මගින් 2030 වන විට ශ්‍රී ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කිරීම හා පාසල් දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීම අරමුණයි. ජනාධිපති ලේකම් කාර්යාලය හා ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය එක්ව සංවිධාන කරනු ලබන වැඩසටහන සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා කෘෂිකර්ම පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහය ලබාදෙයි. පළමු ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා පාසල් ප්‍රාථමික අංශයේ දරුවන්ට දෛනිකව දියර කිරි වීදුරුවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මකයි.

    දිවයින පුරා ප්‍රාථමික පාසල් 950ක පමණ පාසල් දරුවන් ලක්ෂ 4කට පමණ මෙහි ප්‍රතිලාභ හිමිවෙයි. කලවාන,කජුගස්වත්ත,ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සමාරම්භක අවස්ථාවට ප්‍රදේශයේ පාසල් 13ක සිසු දරු දැරියක් 1,500ක් පමණ එක්වීමට නියමිතයි. ජාතික වැඩසටහනට සමගාමීව කලවාන ප්‍රදේශයේ කිරි ගොවීන්ට පහසුකම් රැස්ක ලබාදීමට ද පියවර ගෙන තිබේ.

     

    Last modified on අඟහරුවාදා, 23 ජූලි 2019 07:47

    Latest News