මරණීය දණ්ඩනය අහෝසි කිරිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ අපරාධකරුවන්ගේ ජයග‍්‍රහණයක්

ජූලි 14, 2019

    මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් කුඩුකාරයන්ට, පාතාලයට සහ ස්තී‍්‍ර දූෂකයන්ට රට භාර දෙන එම දිනය මේ රටේ ජාතික ශෝක දිනයක් බවට පත් කරන බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි ජනපදිකයන් පන්දහසකට ඉඩම් ඔප්පු පිළිගැන්වීම වෙනුවෙන් අද (14) පෙරවරුවේ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය කි‍්‍රඩාංගණයේ දී පැවති උත්සවය අමතමිනි.

    මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මරණීය දණ්ඩනය අහෝසි කිරීමට ආණ්ඩුවේ කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැරසීම තුළින් ජය පැන් බොන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් බවයි. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට තමා ඉඩ නොතබන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගත හැකි සෑම පියවරක්ම ගන්නා අතරම මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳ ගත් තීන්දුව ද කිසිසේත් ආපසු නොහරවන බව අවධාරණය කළේය.

    එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මරණිය දණ්ඩනය ලබාදීම පිළිබඳ ගත් තීන්දුවට ඇතැම් පිරිස් එරෙහි වී ඇත්තේ විදේශ බලවේගයන්ගේ අවශ්‍යතා අනුව බවයි. එබැවින් මරණීය දණ්ඩනය රටට අවශ්‍ය බවට රටට සහ දරුවන්ට ආදරය කරන ජනතාව අතරින් පුළුල් ජනහඬක් ගොඩනැගිය යුතු බව පැවසු ජනාධිපතිතුමා ඊට එක්වන ලෙස තමා සියලූදෙනාගෙන් ඉල්ලන බව ද කියා සිටියේය.

    දිවයිනම සමෘද්ධිමත් කරමින් රටට බත සපයන මහවැලි ගොවි ජනතාව වෙත ඔවුන් දීර්ඝ කාලයක් පුරා භුක්තිවිදන ඉඩම් කොටසේ නීත්‍යානුකූල ආයිතිය ලබාදීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් කි‍්‍රයාත්මක ජාතික වැඩසටහන යටතේ වලව කලාපයේ මහවැලි ගොවින් පන්දහසකට ඉඩම් අවසරපත‍්‍ර පිළිගැන්වීම මෙහිදී සිදු විය. එමෙන්ම පූජනීය ස්ථාන 04 ක් වෙනුවෙන් දීමනා පත‍්‍ර ප‍්‍රදානය කිරීම ද සිදු විය.

    සෑම ශ‍්‍රී ලාංකිකයෙකුටම තමන්ගේම ඉඩමක හිමිකම හා නිවසක උරුමය හිමිකරදීමේ ප‍්‍රතිපත්තියට අනුව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි මහවැලි ජනපදිකයන් උදෙසා මෙම ඉඩම් ඔප්පු ප‍්‍රදානය සිදු කරන අතර ඔවුන්ට තම ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීමට මෙමගින් අවස්ථාව උදාවනු ඇත.

    පූජ්‍ය ඕමල්පේ සෝභිත නායක ස්වාමින්වහන්සේ ද, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර, හේෂා විතානගේ යන මහත්වරුන් ද මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

     

     

     

     

     

     

     

     

     

    Latest News