පාර්ලිමේන්තුව පිපිරවීමේ බොරු ඇමතුමට අයෙක් මාට්ටු

ජූලි 14, 2019

    පසුගිය 12වන සිකුරාදා දින රාත්‍රියේ දී 119 දුරකථන මධ්‍යස්ථානයට ඇමතුමක් ලබා දී පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට අසත්‍ය තොරතුරක් ලබා දුන් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

    පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවත් එය පිටකොටුවේ මුස්ලිම් දේවස්ථානයක් තුළදී පුද්ගලයන් 8 දෙනෙකු විසින් සැළසුම් කර ඇති බවත් දුරකථන ඇමතුම ලබා දුන් පුද්ගලයා ප්‍රකාශ කර තිබේ.

    තොරතුර ලද සැණින් කොළඹ මධ්‍යම කොට්ඨාශය භාර පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර එහිදී ලබා දුන් තොරතුර අසත්‍ය බවට අනාවරණය වු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

    අසත්‍ය තොරතුර ලබා දුන් තැනැත්තා ඊයේ (13) ඇල්ල පොලිස් වසමේ දී අත්අඩංගුවට ගැනිණ. ඔහු ඇල්ල ප්‍රදේශයේ කුලි නිවසක පදිංචි සිටි 53 හැවිරිදි අයෙකි. කුලියට සිටින නිවසේ හිමිකරුගේ ජාතික හැඳුනුම්පත භාවිත කරමින් ඔහු සිම් කාඩ් පත මිලට ගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.  සැකකරු කොටුව පොලිස් ස්ථානයේ රඳවා විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

    Latest News