ඇමති රාජිත - ආණ්ඩුව කඩා වැටෙයි කියලා විපක්ෂය හීන දකිනවා

ජූලි 14, 2019

    රජයේ සංවර්ධනයට ඇතැම් නිලධාරීන් බාධා කරන අතර ආණ්ඩුව කඩා වැටෙයි කියා විපක්ෂය සිහින දකින බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

    වත්මන් ආණ්ඩුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරමින් ඔවුන්ට සහන රැසක් ලබාදී ඇති බව ද ඇමැතිවරයා පැවැසුවේය.

    ජාතික සෞඛ්‍ය සේවා පොදු සංගමය සංවිධානය කළ උපහාර උත්සවයක් සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශේෂිත ළමා රෝහලේ දී පසුගියදා පැවැත්විණ. එම අවස්ථාවට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

    මෙහිදී සෞඛ්‍ය සේවාවට කළ මෙහෙවර අගය කරමින් එම සංගමය විසින් උපහාර තිළිණයක් සෞඛ්‍ය අමාත්‍යවරයාට පිරිනමන ලදි. තව ද පේරාදෙණිය ළමා රෝහල සංවර්ධනය කිරීමට දායකවූවන්ට සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් තිළිණ ප්‍රදානයක් ද සිදු කළ අතර, මෙම රෝහලේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ඩී.ආර්.ඒ හේරත් මහතා විසින් සිය පෞද්ගලික ධනයෙන් මෙම රෝහලට ඇඳන් 13 ක් ද පරිත්‍යාග කරන ලදි.

    “විශිෂ්ට සෞඛ්‍ය සේවයක් ගොඩනැඟීමට වෘත්තීය සමිතිවල දායකත්වය අවශ්‍ය වෙනවා. වත්මන් රජය රාජ්‍ය සේවක වැටුප් වැඩි කරමින් රාජ්‍ය සේවකයන්ට සහන රැසක් ලබාදුන්නා. රජය ආරක්ෂා කර ගැනීම රාජ්‍ය සේවකයගේ වගකීමක්. රජයට සහයෝගය දැක්විය යුතුයි. ජනතාවට නිදහස ලබාදුන්නා. වර්තමානයේ දකුණේ පමණක් නොව උතුරු පළාතේ ද විරෝධතා පැවැත්වෙනවා. ඇතැම් අය ලබාදුන් නිදහස සීමාවකින් තොරව භුක්ති විඳිනවා. රට හැදීමේ වැඩපිළිවෙළ ඉදිරියටම දියත් කරනවා. 2015 වසර වන විට මමත් ජනාධිපතිවරයාත් සිටියේ නිර්පාක්ෂිකවයි. නමුත් පසුව ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට පත්වුණා. අපේ රජයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් එකතු වුණු අය අපටත් පහර ගැහුවා. ඔවුන් දුෂණයට, භීෂණයට කැමැති අය. ජනාධිපතිවරයාත් ඔවුන්ගේ පැත්ත ගත් නිසා අපි සමඟ ගැටුම් ඇති වුණා.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට වර්තමානයේ විරුද්ධ වන ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කිරීමට කැපවී කටයුතු කළා. අතිවිශාල වැඩකොටසක් ඉටු කර තිබෙනවා. 2019 වසරේ විදේශ ණය ඩොලර් මිලියන 9600ක් ගෙවීමට තිබුණා. විපක්ෂයේ අය හිතුවේ එම ණය ගෙවන්න බැරිවෙයි කියලා. රජය කඩා වැටෙයි කියලා. මෙම ණය මුදලෙන් සියයට 87ක් තිබුණේ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ ගත් ණය. එම ණය අරගෙන තිබුණේ වාණිජ පොලියට. ණය මුදල් ගෙවීමට විදේශීය සහයෝගය ලැබුණා. නැතිනම් ඛේදවාචකයකට ලක්වෙනවා. ජුලි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන 1900 ක මුදල් ණය වශයෙන් ගෙවීමට තිබෙනවා. විපක්ෂය බලාගෙන ඉන්නවා එම ණය ගෙවා ගන්න බැරිව ආණ්ඩුව කඩා වැටෙන ආකාරය බලන්න. අර්බුදය ඇති කළෙත් එයාලගේ පාලන කාලයේ දී. අපි රජයේ දේපළ විකිණීම නතර කර බද්දට ලබාදීමට කටයුතු කළා. මත්තල ගුවන්තොටුපල ඉන්දියාව සමඟ ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යාමට අපි සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. රජයේ අඩුපාඩු තිබෙනවා. රජයේ සංවර්ධන වැඩවලට මෙන්ම ඇතැම් රාජකාරී කටයුතුවලට ද ඇතැම් නිලධාරීන් බාධා කරනවා. විගණන දෙපාර්තමේන්තුව ශක්තිමත් කළ අතර, තොරතුරු දැනගැනීමේ පනත ද රජය විසින් ඉදිරිපත් කළා.

    රජයේ රෝහල්වල ආරම්භ කර ඇති දුප්පත් හිතවාදී සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාර්ථක කර ගැනීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් සහයෝගය ලබාදෙනවා. නමුත් වෛද්‍යවරුන් සුළු කොටසක් කෑගහලා එම වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්න හදනවා. පෙත්සම් ගහනවා. විරෝධතා පවත්වනවා. රෝගීන්ට ප්‍රතිකාර නොකර හවසට පෞද්ගලික සේවයේ යෙදෙනවා. රෝගීන්ට ප්‍රතිකාර නොකරන ඇතැම් වෛද්‍යවරු තම පෞද්ගලික වෛද්‍ය සායනය අංග සම්පූර්ණව හදාගෙන දේශපාලන වැඩ කරනවා“ යැයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.

    Last modified on ඉරිදා, 14 ජූලි 2019 10:45

    Latest News