කතානායකගෙන් පා. ම. දයාසිරිට පිළිතුරක්: පාර්ලිමේන්තුව කැඳවුවොත් යා යුතුයි (වීඩියෝ)

ජූලි 09, 2019

    නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු යි කතානායක කරූ කයසූරිය මහතා පවසයි.

    එසේ නොවන්නේ නම් එය පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වන්නේ යැයි ඔහු කියා සිටියේය.

    වරප්‍රසාද ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයට පිළිතුරු දෙමින් කතානායකවරයා අද (9) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    පාස්කු 21 ප්‍රහාරය සොයා බැලීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව සඳහා මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කැඳවා තිබූ අතර කතානායකවරයාගේ නිශ්චිත මතය පාර්ලිමේන්තුවට දන්වා සිටින ලෙස මන්ත්‍රීවරයා ප්‍රකාශය කරමින් කියා ඉල්ලා සිටියේය.

    එහිදී අඳහස් දැක්වූ කතානායකවරයා, " පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාව ඇති කළේ, ආණ්ඩුවෙත් විපක්ෂයෙත් ඒකමතික එකඟත්වයෙන්. විපක්ෂයෙත් උනන්දුවක් තිබුණා. ඉන් අනතුරුව පක්ෂ නායකයින්ගේ රැස්වීමට ඉදිරිපත් කරලා, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා, එකඟත්වයෙන් සිදු කළේ.

    අවුරුදු විසි ගණනකට පසුව අප ස්ථාවර නියෝග වෙනස් කළා. වර්තමානයට ගැළපෙන ආකාරයට අප පාර්ලිමේන්තුවේ නීති රීති වෙනස් කළා. මාධ්‍ය ගෙන්වීමේ බලයත් අප එම කමිටුවලට බාර දි තිබෙනවා. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ආරම්භ කලාට පසුවයි නඩුවක් ගියේ. ඒ නිසා එය නවත්වන්න බෑ. එය සිරිතක්. ඒ වාගේම අලුත් ස්ථාවර නියෝග අනුව කතානායකවරයාට බලතල තිබෙනවා, හැඟී යනව නම් කරගෙන යන්න පුළුවන්. මෙතැන දී මම නීති උපදෙස් ලබාගත්තා.

    මෙතැන දි යම් කිසි අගතියක් වේ නම්, ඒ ගැන විශේෂ කාරකසභාවට දැක්විය හැකියි. ජනාධිපතිතුමා විසින් එවන ලද ලිපිය ගැන සඳහන් කළා. ජනාධිපතිතුමා විසින් එවන නියෝග මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. අනෙකුත් ලිපි අදාළ විදියට ක්‍රියා කරනවා. අදාළ ලිපිය කෙළින් ම කඬ්හ්ව්වා ඒ සාමාජිකයෝ ඒ අයගේ අවධානයට යොමු කළා. මෙතැන කිසිම දෙයක් වැරදියට සිදු වී නෑ. මගේ උපදේශය මෙයට සහභාගීවීම යෝග්‍යයයි කියලා. පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුවයි කටයුතු කළේ. නීතිය අනුව ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවෙන් කැඳවීමක් ලැබුණොත් යා යුතු යි. එසේ නැති වුවහොත් එය පාර්ලිමේන්තුවට සිදු කරන අපහාසයක් ලෙස සළකන්නට සිදු වෙනවා" යැයි පැවසීය.

    Last modified on අඟහරුවාදා, 09 ජූලි 2019 19:49

    Latest News