කථානායකතුමාගේ අලුත් අවුරුදු පණිවිඩය

අප්‍රේ 14, 2021

    කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අලුත් අවුරුදු පණිවිඩය

    ශ්‍රී ලාංකිකයන්ගේ දිවිපැවැත්ම හා අත්‍යන්තයෙන් ම බැදුණු විච්ත්‍රවත්ම සංස්කෘතික මංගල්‍යය නුදුරේදීම උදාවන සිංහල හා දෙමළ අලුත් අවුරුද්දයි.

    එය වසර දහස් ගණනක් අප සංස්කෘතික මිනිසුන් ලෙස එකිනෙකා අතර පවත්වාගෙන යන අප්‍රමාණ බැදීම ප්‍රකට කරවන්නක්ද වේ. සෑම අලුත් අවුරුද්දකම මෙන්ම මෙවරද රටක් ලෙස එකම මොහොතක,එකට එක්ව ඉටු කරන චාරිත්‍ර අපේ එකමුතු බව කියාපාන්නකි. ඒ චාරිත්‍රානුකූලව වතාවත් ඉටු කරන අප සියල්ලන්ගේ අවංක ප්‍රාර්ථනය තිරසාර වූ සෞභාග්‍යයයි. අලුත් අවුරුද්දෙන් පසුව වුවද එය හුදු ප්‍රාර්ථනාවකට පමණක් සීමා නොකර රට වෙනුවෙන් කටයුතු කිරීමට අපි දිරි වඩා ගත යුතු වෙමු.

    මෙසේ කවර තරාතිරමක කුටුම්බයක් තුළ වුවද අනුගමනය කරන චාරිත්‍ර මගින් අපේ වටිනාකම් සංකේතවත් වනු පමණක් නොව ඉතා වැදගත් ධනයක් ද ඊළග පරපුරට දායාද කරන බව වැඩිහිටි අප මෙහිදී සිහි තබා ගත යුතුය. තාක්ෂණයේ පිහිටෙන් ඇසිල්ලකින් ලොව කියවීමට සමර්ථ අපේ තරුණ දූ දරුවන්ට ද දරු දැරියන් ටද අපි මේ වටිනා සංස්කෘතිකාංගයන් පසුපස ඇති තාර්කික පදනම වටහා දිය යුතු වෙමු . එය නිසැකයෙන්ම අප රට වෙනුවෙන් සිදු කරන අනාගත ආයෝජනයකි.

    පසුගිය වසරවල බක් මාසයන්හි ඇතිවූ සිත් රිදීම්, අමනාපකම්, කලකිරීම් පහසුවෙන් අමතක කළ නොහැකි බව මම ද පිළිගනිමි. එනමුත් කොවිඩ් 19 ගෝලීය අභියෝගය අප ඉදිරියට ආ සමයෙහි එය ජයගන්නට අපගේ සාමූහික අධිෂ්ඨානය හේතු විය. අපගේ පෞද්ගලික මතය නම්, එබදු ගෝලීය අර්බුද මගින් මිනිස් වර්ගයා වෙත පෙන්වාදුන්නේ එකමුතුව ,එකිනෙකා සමග ජීවත්වීමේ වටිනාකමයි.

    අලුත් අවුරුද්ද සමග මේ පැමිණ තිබෙන්නේ පරිසරය පවා අලුත් වෙන වසන්ත කාලයයි. එහෙයින්, අන්‍යයන් පිළිබද සහකම්පනයෙන් සිතන නැවුම් මනුෂ්‍යයෙකු ලෙස මේ අලුත් අවුරුද්දේ රට වෙනුවෙන් එක්සිත් පෙරදැරිව එක් වන්නට ඔබ සැමට දිරි ලැබේවා යි යනු මගේ අලුත් අවුරුදු පැතුමයි.

    ශ්‍රී ලංකාවාසී ඔබ සැමට සෞභාග්‍යමත් අනාගතයක් උදා වන සුබ සිංහල හා දෙමළ අලුත් අවුරුද්දක් වේවා!

    Latest News