ජනතාව අද පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳිනවා...එදා පැවතුණේ සුදු වෑන් සංස්කෘතියක්

ජූලි 06, 2019

    අද ජනතාව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විදින බවත්, සමහරුන්ට පසුගිය කාලයේ සිදුවූ දේවල් අමතක වී ඇති බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    මීට වසර 05 කට කලින් පැවැත්වූ ඡන්දය අවස්ථාවේ දී ජනතාව කෙතරම් බියකින් පසුවූ බවත්, එදා පැවතුණේ සුදු වෑන් සංස්කෘතියක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා...

    "දේශපාලනය කියන්නේ දවසින් දෙකෙන් සියලු ප්‍රශ්න විසදන්න පුළුවන් ක්ෂේත්‍රයක් නොවෙයි. නමුත් ජනතා ගැටලු වලට සවන් දීලා, හැකි අවස්ථා වලදි ලබාදීම තමයි දේශපාලඥයින්ගේ යුතුකම. අද සන්නිවේදන පහසුකම් සපයන්නන් 75 කට ස්ථිර රැකියා ලැබෙනවා. සිංහල පුද්ගයෙක් අනිවාර්යයෙන් දෙමල දැනගත යුතු අතර දෙමල කෙනෙක් සිංහල දැනගත යුතුමයි. ඒ තුලින් බහුවාර්ගික සමගියක් ඇතිකල හැකියි. අද මේ රැකියා ලබාගත් පිරිසගේ අවම අධ්‍යාපන සුදුසුකම වෙලා තියෙන්නේ, අ.පො.ස. සාමාන්‍ය පෙළ. අන්න ඒ වගේ දේශපාලඥයින්ටත් අවම වශයෙන් අ.පො.ස. සාමාන්‍ය පෙළවත් තිබිය යුතුයි. ඒ ආකාරයෙන් අපි අධ්‍යාපනයේ වටිනාකම තේරුම්ගත යුතුයි. නිදහසේ සිට අද දක්වා ආපස්සට හැරිලා බැලුවාම අපට පැහැදිළි වන්නේ මේ රට සංර්ධනය වෙලා තිබෙන්නේ රටටවත්, ජනතවටත් අවශ්‍ය ආකාරයට නොවෙයි. දේශපාලනයට අවශ්‍ය ආකාරයටයි. මේ රටේ පීඩනයට ලක්වෙලා සිටින ජනතාවට අපි සියලු දෙනාම ඒකරාශී වෙලා අන්තවාදය ප්‍රතික්ෂේප කරලා , හැමදෙනාටම ශ්‍රී ලාංකික අනන්‍යතාවය තහවුරු කළ යුතුයි.

    තවත් මාස කිහිපයකින් ශ්‍රී ලංකා දේශපාලනයට වැදගත් අවස්ථාවක් උදාවෙනවා. ඒ උදාවන ජනාධිපතිවරණයේදි රටේ සියලුදෙනා ඒකරාශී කරලා ජයග්‍රහණය කරන්න පුළුවන් ආකාරයකට අද එක්සත් ජාතික පක්ෂය පවතිනවා කියලා මම විශ්වාස කරනවා. මීට වසර 05 කට කලින් පැවැත්වූ ඡන්දය අවස්ථාවේදී ජනතාව කෙතරම් බියකින්ද පසුවුණේ. එදා තිබුණේ සුදු වෑන් සංස්කෘතියක්. නමුත් අද ඒ තත්ත්වය වෙනස්වෙලා. අද ජනතාව පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්ති විදිනවා. නමුත් සමහරුන්ට ඒ දේවල් මතකත් නැහැ. මේ ආණ්ඩුව මොනාද කළේ කියලා අහනවා. අද වැදගත් වන්නේ ජාතික ආරක්ෂාව, ජාතික ආර්ථිකය සහ තරුණයන්ට මුල් තැන දී කටයුතු කරන සමාජයත් තමයි "යැයි පැවසීය.

    Last modified on සෙනසුරාදා, 06 ජූලි 2019 10:15

    Latest News