“පෙළ පොතට පණිවිඩයක් ලබා දීමේ සම්ප්‍රදාය අනුගමනය කළා පමණයි” - අමාත්‍ය අකිල (වීඩියෝ)

ජූලි 01, 2019

    පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ඇතුලත් කිරීම සම්බන්ධව කරන ලද පැමිණිල්ලකට අදාළ ව අධ්‍යාපන අමාත්‍යවරයා ජනාධිපති විමර්ශන කොමිසම හමුවට අද (01) පැමිණියේය.

    අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් පෙළ පොත්වල ඡායාරූපය සහිත පණිවුඩයක් ලබාදීම තුළින් රජයට පාඩුවක් සිදුව ඇති බවට හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අදාළ ව අද අමාත්‍යවරයා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේය.

    ඒ අවස්ථාවේ මාධ්‍යවේදීන් විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා අදහස් දැක්වූයේය.
    පෙළ පොත් මුද්‍රණයේ දී මිළ ගණනය කරනු ලබන්නේ, වර්ණ හෝ කලු, සුදු පිටු ගණන මත මිසෙක, පිටුවල අන්තර්ගතය පරීක්ෂා කරමින් නොවන බවත්, තම ඡායාරූපය ඇතුළත් පණිවුඩය පෙළ පොතට එක්කිරීමෙන් අතිරේක ව කිසිදු මුදලක් වැය වී නොමැති බවත්, පෙළපොත් මුද්‍රණය ආරම්භයේ පටන් ම විෂය භාර අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවුඩය පෙළපොතට ඇතුළත් කර ඇති බවත්, හිටපු අධ්‍යාපන අමාත්‍යවරුන්ගේ පමණක් නොව, හිටපු ජනාධිපතිවරුන්ගේ ද වර්ණ ඡායාරූප සහිත ව ප්‍රකාශ අන්තර්ගත ව ඇති අවස්ථා ගණනාවක් ම ජනාධිපති විමර්ශන කොමිසම වෙත ඉතා පැහැදිලි සාක්ෂි සහිත ව අද දින ඉදිරිපත් කළ බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.

    මෙහි දී වැඩිදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා,..

    “දින 52 තුළ සිටි අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මගේ පණිවුඩය පෙළපොත්වලින් ගලවන්න තීරණය කරල, පොත් පිටපත් ලක්ෂ 8කට පමණ මගේ ප්‍රකාශය සහිත පිටුව ඉවත් කරල හිස් පිටුවක් සහිත ව පෙළ පොත ඉදිරිපත් කරන්න නියෝග කරල තියෙනවා, මේ නිසා දරුවන්ට නිසි කලට පෙළ පොත් ලබාදීමට පවා නොහැකි වෙලා තියෙනවා. ඒ වගේම එතුමා ජාතික ගීයත් පෙළපොතෙන් අයින් කරන්න තීරණය කරලයි තිබුණේ. එහෙත් අවසානයේ දී හිටපු ප්‍රකාශන අධ්‍යාපන කොමසාරිස්තුමිය විසින් කළ කරුණු කාරණා පැහැදිලි කරමින් කළ ඉල්ලීමක් නිසා ජාතික ගීය තවදුරටත් පෙළ ඉතිරි වෙලා තියෙනවා.”

    “මේ රටේ මිනිස්සු දන්නවා, එදා අධ්‍යාපන අමාත්‍යාංශය තිබුණු විදිය, විභාග පවත්වපු විදිය, නිල ඇඳුම්වලින් ගසාකාපු විදිය. එදා සිට අධ්‍යාපන අමාත්‍යවරයා දරුවන්ගේ පෙළ පොතට පණිවුඩයක් ලබාදීමේ සම්ප්‍රදාය අනුගමනය කළා කියල අපිට විරුද්ධ ව කොමිසන් සභාවලට ගෙන්නනවා. මෙතන පැහැදිලිව තියෙන්නෙ අපේ චරිතය ඝාතනය කරන්න හදාගත්ත වෙන ම න්‍යාය පත්‍රයක්.. මේවා ජනතාව තේරුම් ගනීවි කියල මම විශ්වාස කරනවා.”

    “හිටපු අධ්‍යාපන ප්‍රකාශන වැඩබලන කොමසාරිස්වරයා, සැපයීම් අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ කාලයෙහි එතුමා සම්බන්ධව නැගුණු මූල්‍ය වංචාවන්ට එරෙහි ව මම විමර්ශනයක් ඉල්ලුවා. ඒ මහතා විමර්ශන නිලධාරියාගෙන් චෝදනාපත්‍රයක් ලබාදීමට නියෝග නිකුත් කරල තියෙන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙකුගෙන් මම ඉල්ලීම් කරාවි කියා හිතනව ද, මට ඉල්ලීම් කරන්න අවශ්‍ය නැහැ. මම ඇමතිවරයා හැටියට යම් ප්‍රතිපත්තිමය තීරණයක් ඉදිරිපත් කරනව නම් ඒක කරන්නෙ ලේකම්වරයාට...”යනුවෙන් ද ප්‍රකාශ කළේය.

    ඇමති අකිල ජනාධිපති කොමිසමට - (10:30)

    පැමිණිල්ලකට අදාළව නිකුත් කළ තිබූ නොතීසියකට අනූව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත පැමිණ තිබේ.

    අද පෙරවරු 9.20ට පමණ ඔහු කොමිස වෙත පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. පාසල් පෙළ පොත් මුද්‍රණයේ දී ය අකිල විරාජ් අමාත්‍යවරයාගේ ඡායාරූපයක් මුද්‍රණය කිරීමෙන් කුසල අවභාවිතයක් සිදුවිය යුතු බවට කරන ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශ ලබා දීම සඳහා අකිල විරාජ් අමාත්‍යවරයා මෙහි පැමිණ තිබේ. පැමිණිල්ල ගොනුකර ඇත්තේ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින්.

    Last modified on සදුදා, 01 ජූලි 2019 19:55

    Latest News