සිසුන්ට ටැබ් ලබාදීම නියමු ව්‍යාපෘතියක් පමණයි - ජනපති (වීඩියෝ)

ජූලි 01, 2019

    උසස් පෙළ සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහනට අනුමැතිය හිමිව ඇත්තේ පළමුව ජාතික පාසල්වල නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමට පමණක් බව ජනාධිපතිතුමා පවසයි.

    ජනාධිපති ලේකම් කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබේ. විශේෂයෙන්ම අත්‍යාවශ්‍ය විෂයමාලා කරුණු හැර මෙම ටැබ් පරිගණක මඟින් වෙනත් අන්තර්ජාල අවකාශයනට ප්‍රවේශවීම වැළැක්විය යුතු බව ද ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. අධ්‍යාපන කටයුතුවලින් පරිභාහිරව වෙනත් කටයුතුවලට ප්‍රවේශවීමේ හැකියාව වළක්වමින් මෙම ටැබ් පරිගණක සිසුන්ට ලබා දීමට පියවර ගන්නා බව ඒ අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

    නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය අනුව ව්‍යාපෘතියේ ඉදිරි පියවර ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණි. අදාළ යෝජනාව පිළිබඳ කැබිනට් මණ්ඩලයේ නිර්දේශය වුයේ ද මෙවන් ව්‍යාපෘතියක් ජාතික පාසල්වලින් ආරම්භ කළ යුතු බවයි. දීප ව්‍යාප්තව පාසල් සිසුන්ට ටැබ් පරිගණක ලබා දීම සඳහා රුපියල් බිලියන පහ මාරක මුදලක් වෙන් කර තිබිණි.

    එහිදී ජනාධිපතිතුමාගේ යෝජනාව වුයේ මෙම මුදලෙන් නියමු ව්‍යාපෘතියට අවශ්‍ය මුදල් ලබා ගෙන ඉතිරි මුදල් දිවයින පුරා පාසල්වල විශාල අඩුපාඩුවක්ව පවතින ඩෙස් පුටු ඇතුළු අනෙකුත් උපකරණ ලබා ගැනීමට යොදවන ලෙසයි. එමෙන්ම මෙම නියමු ව්‍යපෘතිය සඳහා අවශ්‍ය මුදල කොපමණ ද යන්න නිශ්චිතව සඳහන් කළ යුතු බව ද ජනාධිපතිතුමාගේ යෝජනාව විය. ඒ අනුව ව්‍යාපෘතිය සඳහා 2017 වසරේ කැඳවන ලද ටෙන්ඩරය නියමු ව්‍යාපෘතියට අනුව වෙනස් විය යුතුයි.

    පාසල් දරුවන්ට නව තාක්ෂණය සමඟ දැනුම ලබා දීම අත්‍යවශ්‍ය වුවත් දරුවන්ගේ විනය සහ මානසික තත්ත්වයට සුදුසු ආකාරයෙන් මේ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමාගේ අදහස බව ද එම නිවේදනයේ තවදුරටත් දැක්වෙයි.\

    Last modified on සදුදා, 01 ජූලි 2019 20:06

    Latest News