මත්ද්‍රව්‍ය ජාවාරම්කළ 4කට මරණ දඩුවම;19 සංශෝධනයෙන් දේශපාලන අස්ථාවරත්වයක් (වීඩියෝ)

ජූනි 26, 2019

    මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් වැරදිකරුවන් වී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් සිව් දෙනෙකුට මරණීය දණ්ඩනය ලබාදීම සඳහා තමා අත්සන් තැබූ බව ජනපති පවසයි.

    තරුණ ජීවිත විනාශ කරමින් රට අභාග්‍යසම්පන්න ඉරණමක් කරා ගෙන යමින් සිටින නීති වීරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට තමන් ඉකුත් සිව් වසර තුළ ප‍්‍රබල උත්සාහයක් ගත් අතර, සියලූදෙනාගේ සහය ඇතිව එම සටන අවසානය කරා මෙහෙයවන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග පැවති හමුවේ දී ය.
    ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධි දිනය යෙදී ඇති අද දිනට සමගාමී ව මත්ද්‍රව්‍ය මර්දන සතියක් ද ප‍්‍රකාශයට පත් කරමින් සියලූදෙනාගේ සහාය ඇතිව දීප ව්‍යාප්තව පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබෙන බව ජනාධිපතිතුමා මෙහි දී සඳහන් කළේය.
    රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ද කරුණු පැහැදිලි කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයට පෙර හෝ පසුව කවුරුන් බලයට පත්වුව ද රටට ආදරය කරනවා නම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අහෝසි කළ යුතු බවයි. 19 වන සංශෝධනය සකස් කිරීමේ දී සිදුව ඇති අක‍්‍රමිකතා හේතුවෙන්, එය සම්මත කර ගැනීමට තමන් දැරූ බලවත් වෙහෙස තුළ අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා ජනතා ඡන්දයෙන් බලයට පත්වූ නායකත්වය රට මෙහෙයවීමට සිටියදී පාර්ලිමේන්තුවෙන් බලය ලබාගත් තවත් නායකයෙක් රට පාලනයට කිරීමට යාමෙන් ඇතිව තිබෙන දේශපාලන අස්ථාවරත්වය රටට ඉතා අහිතකර තත්ත්වයක් නිර්මාණය කර තිබෙන බව ද කියා සිටියේය. එබැවින් යහපත් රටක් සහ නිදහස් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් වෙනුවෙන් ඉදිරියේ දී නියත වශයෙන්ම 19 වන සංශෝධනය අහෝසි විය යුතු අතර ම ඊට නායකත්වය ගැනීම රටට ආදරය කරන සියලූදෙනාගේ වගකීම බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

    එමෙන් ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ගන්නා තීන්දුව අනුව ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබඳව තමා තීරණයකට එළැඹීමට අපේක්ෂා කරන බවයි. වසර 52ක තම දේශපාලන ජීවිතයේ විවිධ සංධිස්ථාන මෙන්ම හැරවුම් ලක්ෂ තිබූ බව ද සිහිපත් කළ ජනාධිපතිතුමා ඉදිරි ජනාධිපතිවරණය ද තමාට එවන් දේශපාලන අත්දැකීමක් බව කියා සිටියේය.

    තම විදේශ සංචාර පිළිබඳ මාධ්‍ය ඔස්සේ පළවන අසත්‍ය ප‍්‍රචාර පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ තමා එම සියලූ විදේශ සංචාර සඳහා සහභාගී වී ඇත්තේ එම රජයන්ගෙන් ලැබුණු නිල ආරාධනා අනුව, බවයි. ඇතැම් මාධ්‍යවල සඳහන් කරන පරිදි විශාල නියෝජිත පිරිසක් එම සංචාරවලට සහභාගි කර නොගත් අතර දස දෙනෙකුට නොවැඩි වූ එම පිරිස සමග අදාළ නිල සංචාරවල නිරතවූයේ මාතෘභූමිය වෙනුවෙන් ප‍්‍රතිලාභ රැසක් උදාකර ගැනීම වෙනුවෙන් බව ද කියා සිටියේය.

    ඇමරිකාව සමග අත්සන් තැබීමට නියමිත SOFA සහ VFA ගිවිසුම් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එම ගිවිසුම් පිළිබඳ තමාගේ කිසිදු එකඟතාවයක් නොමැති අතර ඒ පිළිබඳ තමා පාර්ලිමේන්තුවේදී ද පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙන බවයි.

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධව ඉන්දියාව සහ ජපානය සමග අතිකරගෙන තිබෙන එකඟතාවය පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තමා ඊට විරුද්ධ වූයේ එහි ශ‍්‍රී ලංකාවට අහිිතකර තත්ත්වය තිබූ නිසා වන අතර, එම සියලූ අහිතකර කරුණු සංශෝධනය කර ගැනීමෙන් අනතුරුව ශ‍්‍රී ලංකාවට වැඩි ප‍්‍රතිලාභයක් උදාවන පරිදි අදාළ තීන්දු තීරණවලට එළැඹීමට කටයුතු කළ බවත්ය.

    Last modified on බදාදා, 26 ජූනි 2019 19:38

    Latest News