මට්ටක්කුලිය වෙඩිතැබීමේ සිද්ධියේ සැකකරුවන් 5ක් නිදොස් කොට නිදහස් කරයි

ජූනි 26, 2019
    2016 වසරේ මට්ටක්කුලිය, සමිට් පුර ප්‍රදේශයේදී පුද්ගලයින් පස් දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.
    කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා විසින් මෙම තීන්දුව ලබා දුන්නේය. තීන්දුව ලබාදෙමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේ පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදුන් පුද්ගලයින්ගේ සාක්ෂි වල බරපතළ ඌනතා සහ පරස්පරතාවයක් දක්නට තිබෙන බවයි. එය පැමිණිල්ල විසින් ද පිළිගෙන තිබෙන බව විනිසුරුවරයා විවෘත අධිකරණයේ සඳහන් කළේය.
    පොලිස් විමර්ශනවල ද බරපතළ සැකයන් දක්නට තිබෙන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අසමත් වී ඇති බවයි කියා සිටියේ. ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා තීන්දු කළේය.
    ඉකුත් ජනවාරි මස ආරම්භ කළ මෙම නඩුවේ විභාගය මාස පහක් තුළ අවසන් කිරීමට හැකිවීම සම්බන්ධයෙන් තමන් පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරුන්ට ස්තූතිය පළ කරන බවද විනිසුරු පටබැඳි මහතා විවෘත අධිකරණයේ සඳහන් කර සිටියේය.
    2016 වසරේ මට්ටක්කුලිය, සමිට් පුර ප්‍රදේශයේ දී පුද්ගලයන් 05 දෙනෙකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විත්තිකරුවන් නව දෙනකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබිණ.
    Last modified on බදාදා, 26 ජූනි 2019 12:43

    Latest News