ජනපතිගේ තීරණය ව්‍යවස්ථානුකූලයි - නීතිපති (වීඩියෝ)

නොවැ 13, 2018
  • ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කර තිබේ.

    නීතිපති ජයන්ත ජයසූරිය මහතා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනූව මෙම තීරණය ගෙන ඇති බවයි.

    ඒ  අනූව, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ඉදිරිපත්ව ඇති පෙත්සම් සියල්ල නිශ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨධිකරණයේ ඉල්ලීමක් කර තිබේ.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිතුමාගේ නියෝගය නීති විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අද (13) යළි විභාගයට ගැනුණි.

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ඉදිරිපත් වී තිබිණි.

    අගවිනිසුරු නලින් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනිණ.

    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් පෙත්සම ඉදිරිපත් කෙරිණි.

    කේසේ වෙතත් මේ වන විට පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය විනාඩි 15කට කල්තැබුණි.

    Ru News Alert Super 00238

    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 12:16

    Latest News