රිෂාඩ්, හිස්බුල්ලා, අසාද් සාලීගේ තනතුරු ගැලවීමට සාකච්ඡා ක්‍රියාත්මකයි (විඩියෝ)

ජූනි 02, 2019
  • අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර එම්.එල්.එම් හිස්බුල්ලා මහතා සහ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරු සිය තනතුරුවලින් ඉවත් විය යුතු බව, ශ්‍රීලනිප ජාතික සංවිධායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

    දැනට ශ්‍රී ලාංකික සමාජය තුළින්ම මෙම තිදෙනාට චෝදනා එල්ල වී ඇති බැවින් මේ අවස්ථාවේ ඉල්ලා අස්වී චෝදනාවලින් නිදොස් වූ පසු නැවත එම තනතුරුවලට පැමිණිය යුතු බව ද ඔහු කියා සිටී.

    රිෂාඩ් බදියුදීන්, එම්.එල්.එම්. හිස්බුල්ලා සහ අසාද් සාලිට තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස බලකරමින් උපවාසයක නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේ දී දුමින්ද දිසානායක මහතා අද මේ බව පැවසීය. දැනට මත්ව ඇති ගැටලුව එක් ජාතිකයකට හෝ ආගමකට සීමා නොවූවක් බව, ඔහු කියා සිටී. එබැවින්, සමස්ත ශ්‍රී ලාංකික සමාජයටම බලපා ඇති මෙම ගැටලුව කඩිනමින් විසඳා ගැනීමට අවශ්‍ය සාකච්ජා මේ වනවිට ආරම්භ කර ඇති බව ද ඔහු කියා සිටියේය.

    “මේ වනවිට මතුකර ඇති ගැටලු දිහා බැලුවම සිංහල ජාතියට පමණක් නොව රටක් හැටියට සමගියෙන් ජීවත්විය නොහැකි අන්දමට පසුගිය කාලය තුළ අනවශ්‍ය අන්දමේ පුද්ගල නැගිටීම් සිදුව තිබෙනවා. එනිසා මම හිතනවා රතන හිමියන් කරන මෙම කාර්්‍යය බෞද්ධයා රැකගන්න පමණක් නොවෙයි සමස්ත රටේ සිටින ජනතාවම සමගිය, සහයෝගය යන මේ හැම දේකටම බලපානවා. මේ සිද්ධිය ඇතිවූ අවස්ථාවේ සිට මුස්ලිම් ජනතාවත් එක්ක ඒ වගේම දෙමළ ජනතාවට මුස්ල්මි ජනතාවත් එක්ක සැකයක් ඇති වී තිබෙනවා. එය ආගමික හෝ ජාතික එකක් නොව, කෙසේ හෝ ඇති වූ මෙම සිද්ධියත් එක්කත් එම සැකය හටගෙන ඇත්තේ. එහෙම නම් ඔවුන්ගේ පැත්තෙනුත් යුතුකමක් තිබෙනවා යම් කැපකිරීමක් කරන්න. රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන් මේ පරීක්‍ෂණවලට යම්කිසි දායකත්වයක් ලබාදිය යුතුයි. රටේ ජනතාවට අවශ්‍ය වන්නේ එම පරීක්‍ෂණ ක්‍රියාත්මක වීමේදී ඉතාම සාධාරණව සහ විනිවිද භාවයකින් ක්‍රියාත්මක කරගන්න. එම තනතුරු දරමින් මෙම පරීක්‍ෂණ කිරීමට නොහැකි බව අද සමාජයේ මතය වී තිබෙනවා. එනිසා අපි එතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා මේ ප්‍රශ්නය ජාතිවාදී ප්‍රශ්නයක් හෝ රටේ සමගිය නැති කරන ප්‍රශ්නයක් නොකර ඔවුන් වහාම එම තනතුරින් ඉල්ලා අස්වීම බාරදීලා පරීක්ෂණවලට දායකත්වය ලබාදීලා ඒ වගේම ඉදිරියේදී එතුමන්ලා නිවැරදි වෙනවා නම් මේ රට ගොඩනඟන්න සමගිය ඇති කරන්න. දායක වෙන්න පුලුවන්. ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියලා, ශ්‍රී ලංකාව බෞද්ධ රටක් කියන එක අපි හැමෝම මතක් කරන දෙයක්, කතා කරන දෙයක් අපේ රටට ව්‍යසනයක්, කරදරයක් ඇතිවන අවස්ථාවලදී මහා සංඝැත්නය පෙරට පැමිණියා.එ නිසා අපි රතන හිමියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, ඒ වගේම සෑම දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා රතන හිමියන් ආරම්භ කර ඇති සටන ජයග්‍රහණය කරන්න සියලු දෙනාගේම සහයෝගය ලබාදෙන්න කියලා. මෙය පුද්ගලික ජයක් නොව රටක් විදියට ශ්‍රී ලාංකික ජාතිකයක් හැටියට ලබන ජයක්“ යැයි ඔහු කියා සිටියේය.

    රිෂාඩ් බදියුදීන්,හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන්ගේ ඉල්ලා අස්වීමට කෙතරම් කාලයක් ගතවේද යන්න මාධ්‍යෙව්දීන්  එහිදී දුමින්ද දිසානායක මහතාගෙන් විමසා සිටියේය.

    “මේ පිළිබඳව අපි ඒ අයත් සමඟ සාකච්ජා කරමින් යනවා ඒ අයට පණිවුඩ යවා තිබෙනවා, කෙසේ හෝ අපි හිතනවා කෙටි කාලයක් තුළ අපට මේ ප්‍රශ්නය විසඳගන්න හැකිවේවි කියලා. අපට අවශ්‍ය වන්නේ ප්‍රශ්නය විසඳා ගැනීමට පමණයි. ඒ නිසා කාලයක් දීම හෝ කාලයක් ගැනීමට වේලාවක් නැහැ ඉතාම කෙටියෙන් මේ ගැටලුව විසඳගන්නයි අපට අවශ්‍ය වන්නේ“ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා තවදුරටත් පෙන්වාදුනී.

    රිෂාඩ් බදියුදීන්, හිස්බුල්ලා සහ අසාද් සාලි යන මහත්වරුන්ට සිය ධූරවලින් ඉවත් වන ලෙස  ඉල්ලා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගිය සිකුරාදා (05/31) මහනුවර දලදා මාලිගය ඉදිරිපිට මෙම උපවාසය ආරම්භ කරනු ලැබිණ. එ අනුව රතන හිමියන්ගේ උපවාසයට අද වන විට දින 03ක් ගතවි තිබේ. 

    Last modified on ඉරිදා, 02 ජූනි 2019 16:26

    Latest News