විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය ජනපතිගෙන්

මැයි 22, 2019

    යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බලසේනා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉටු කළ සුවිශේෂී වූ සේවාවට උපහාර පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප‍්‍රදානය, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂ ප‍්‍රදානයක්වේ. එය යුද හමුදාවේ ලූතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන්ට සහ නාවික හා ගුවන් හමුදාවල ඒ හා සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන් වෙත ප‍්‍රදානය කෙරෙන පදක්කමකි.

    ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන්ට ගෞරව පිණිස විනාඩි දෙකක නිශ්ශබ්දතාවයකින් පසුව පදක්කම් ප‍්‍රදානය ආරම්භ කෙරිණි.

    ත‍්‍රිවිධ හමුදාවේ සේවයේ යෙදී සිටින සහ විශ‍්‍රාමික නිලධාරීන් 65 දෙනෙකු මෙහි දී ජනාධිපතිතුමා අතින් විශිෂ්ට සේවා විභූෂණ පදක්කමින් පිදුම් ලැබූවේය. එයට යුද හමුදා නිලධාරීහු 40 දෙනෙක්, නාවික හමුදා නිලධාරීහු 12 දෙනෙක් සහ ගුවන් හමුදා නිලධාරීහු 13 දෙනෙක් ඇතුළත් වූහ. පදක්කම් ප‍්‍රදානයෙන් අනතුරුව පදක්කම්ලාභීන් සමඟ ජනාධිපතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

    ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන,ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ ත‍්‍රිවිධ හමුදාපතිවරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Last modified on බදාදා, 22 මැයි 2019 13:19

    Latest News