ගෝඨාභයට රට යන්න අවසර

නොවැ 09, 2018

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙසැම්බර් මස 14 වනදා සිට මාසයක කාලයක් සඳහා විදේශගත වීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද අවසර ලබා දුන්නේය.

    මෙම නඩුව අද පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේදී මෙම නියෝග ලබාදීම සිදු කෙරුණි.

    ඒ අනුව දැනට අධිකරණය භාරයේ පවතින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය තාවකාලිකව ඔහු වෙත මුදා හරින ලෙස නියම කළ අධිකරණය ඒ මහතාට පණවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන මෙන්ද ආගමන සහ විගමන පාලකවරයාට නියම කළේය.

    විදේශගතවී පෙරළා දිවයිනට පැමිණීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍රය යළි අධිකරණයට භාර දිය යුතු බවට ද හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය නියම කරනු ලැබීය.

    මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉල්ලීමක් කරමින් දෙසැම්බර් මස 14 වනදා සිට මාසයක කාලයක් සඳහා තම සේවාදායකයාට විදේශගතවීමට අවශ්‍යව ඇති බව සඳහන් කළේය.

    ඒ සඳහා අධිකරණය මගින් දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම තාවකාලික ලෙස ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු විදේශගත වන කාලසීමාව තුළ නඩු විභාගය පැවැත්වෙන්නේ නම් ඔහු නොමැතිව නඩු විභාග කිරීමේ වගකීම විත්ති පාර්ශ්වය විසින් බාර ගන්නේ නම් මෙම විදේශගත වීමේ ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ නොවන බව කියා සිටියේය.

    මෙහිදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින්මෙම නඩුවේ ලැයිස්තුගත කර තිබෙන ඇතැම් ලේඛන මේ දක්වා පැමිණිල්ල විසින් තමන් වෙත ලබාදී නොමැති බව ප්‍රකාශ කළේය.

    ඊට පිළිතුරු දෙමින් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා කියා සිටියේ ප්‍රායෝගිකව ලබාදිය හැකි ලේඛන සියල්ල විත්තිය වෙත ලබාදීමට තමන් කටයුතු කරන බවයි.

    ඒ අනුව බිත්තියේ වෙත නිසි පරිදි ලේඛන ලැබී තිබේද යන්න පරික්ෂා කිරීම සඳහා නඩුව නැවත ලබන 27 වනදා කැඳවීමට විනිසුරුමඩුල්ල තීන්දු කළේය.

    මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති , ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

    ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

    Latest News