අනිද්දා සිට උතුරට වැසි අඩුවෙන ලකුණු

නොවැ 09, 2018

    උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්වයේ අඩු වීමක් ලබන 11 වැනි දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ, දිවයිනට නිරිත දෙසින් පවතින අඩු පීඩන කලාපය ඉවතට ගමන් කිරීමත් සමඟ. බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි බලාපොරොත්තු විය හැකියි. උතුරු සහ උතුරු මැද පළාත්වල ශීත කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද හටගනු ඇති. දිවයිනට නිරත දෙසින් වන මුහුදු ප්‍රදේශවල දැනට පවතින වැසි තත්වය සහ අහස වළාකුළින් බර ස්වභාවය තවදුරටත් අපේක්ෂා කෙරේ.

    පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇති. එම අවස්ථාවේ දී සුළඟේ වේගය ක්ෂණිකව ඉහළ යාමට හැකියාව පවතී.

    එමෙන්ම, එම මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු විය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

    Last modified on සිකුරාදා, 09 නොවැම්බර් 2018 11:10

    Latest News