ජනාපති සයින්දුමර්දු සංචාරය: ත‍්‍රස්තවාදය ලොව ජයගෙන නැහෑ......එහි අරමුණුවලට ශ‍්‍රී ලාංකීය ජාතිය වෙන් කරන්න බැහැ

මැයි 08, 2019

    ත‍්‍රස්තවාදය ලොව කොතැනක හෝ ජයග‍්‍රහණය කර නොමැති අතර, අන්තවාදී ත‍්‍රස්තවාදයේ ම්ලේච්ඡ අරමුණුවලට ශ‍්‍රී ලාංකීය ජාතිය බෙදා වෙන් කිරීමට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ අද (08) පෙරවරුවේ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සහ පළාතේ මුස්ලිම් තරුණ තරුණයන් හමු වෙමිනි.

    අපේ‍්‍රල් 21 වනදා සිදුවීම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රශ්නයක් නොව ජාත්‍යන්තරය හා සම්බන්ධ වූ ත‍්‍රස්ත කි‍්‍රයාවක් බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය. මෙම ජාත්‍යන්තර ත‍්‍රස්ත කණ්ඩායමට එරෙහිව ලොව බලවත් රටවල් නැගි සිටියදී ඊට සම්බන්ධවූවන් මෙරටින් විනාශ කර දැමීමේ මෙහෙයුම් අපගේ ආරක්ෂක අංශ මේ වන විට සාර්ථක අවසානයක් කරා මෙහෙයවමින් සිටින බව ජනාධිපතිතුමා කියා සිටියේය. එබැවින් රටේ ජාතික සමගිය සහ සංහිඳියාව පළුදුවන ආකාරයේ කි‍්‍රයාකාරකම්වලට සම්බන්ධවෙමින් ත‍්‍රස්තවාදයට කිසිදු ඉඩක් තැබීමට දායක නොවන ලෙස සියලූදෙනාගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා රට තුළ ජාතික සමඟිය සහ සංහිදියාව ශක්තිමත් කර ගැනීමට සියලූදෙනා කැප විය යුතු බව ද සඳහන් කළේය.

    පසුගිය අපේ‍්‍රල් 26 වනදා බෝම්බ පිපිරීම සිදු වූ කල්මුණේ, සයින්දමර්දු ප‍්‍රදේශයට අද (08) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා සයින්දමර්දු ලී මැරිඩියන් දේශන ශාලාවේ දි පළමුව නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරින් සමඟ හමුවකට එක් විය.

    ආරක්ෂක අංශවල සිදුකරන ලද පැහැදිලි ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළ සමග මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ නව මුහුණුවරක් සහ සැලැස්මක් ඔස්සේ කි‍්‍රයාත්මක වන බව ඔහු අවධාරණය කළේය. එම වැඩපිළිවෙළ මඟින් සියලූ පුරවැසියන්ට බියෙන්, සැකෙන් තොරව නිදහස් සමාජයක ජීවත්වීමේ අයිතිය තහවුරු කර තිබෙන බවත් පෙන්වා දුනී. ත‍්‍රස්තවාදය විනාශ කර දැමීම ආරක්ෂක අංශ සාර්ථකව සිදු කරන විට මෙම සිදුවීම හමුවේ පසුබෑමට ලක් වූ ජන ජිවිතය යථා තත්ත්වයට ගෙන එමින් බිය, සැක දුරුකොට විශ්වාසය සහ අවබෝධය ගොඩනැගීමට රාජ්‍ය නිලධාරින් මැදිහත් විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටියේය.

    අපේ‍්‍රල් 21 වනදා මෙම අවාසනාවන්ත සිදුවීමත් සමඟ ජීවිත පරිත්‍යාගයෙන් මව්බිම වෙනුවෙන් තම වගකීම් ඉටුකළ ආරක්ෂක අංශ සාමාජිකයන්ට සහ රාජ්‍ය නිලධාරින්ට ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළ අතර මුස්ලිම් ජනතාව සමඟ සමීපව, කිසිදු චෝදනාවක් එල්ල නොවන අයුරින් ආරක්ෂක අංශ ඉටුකරන මානුෂීය මෙහෙවර ඇගැයීමට ලක් කළේය.

    නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප‍්‍රකාශ කළේ අපගේ ආරක්ෂක අංශ මේ වන විට මුස්ලිම් ජනතාව සමඟ ඉතා සමීපව කටයුතු කරමින් එම ජනතාවගේ ආරක්ෂාවත්, ජාතික ආරක්ෂාවත් වෙනුවෙන් වූ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරමින් සිටින බව කියා සිටියේය. ආරක්ෂක අංශවල කටයුතු සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාවගෙන් කිසිදු චෝදනාවක් ඉදිරිපත්වී නොමැති බවත් ඔහු පෙන්වා දුනී.

    ජනාධිපතිතුමා සයින්දමර්දු ප‍්‍රදේශයට පැමිණීම වෙනුවෙන් සයින්දමර්දු ජුම්මා පල්ලියේ සභාපති වයි. එම්. හනිපා මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය. අනතුරුව ජනාධිපතිතුමා ප‍්‍රදේශයේ මුස්ලිම් තරුණ තරුණියන් සමඟ හමුවකට එක් විය.

    එහි දී ජනාධිපතිතුමා කියා සිටියේ ම්ලේච්ඡ ත‍්‍රස්තවාදයට මාතෘභූමියේ කොතැනකවත් ඉඩ නොතබන අතර එය විනාශ කර දැමීමේ වගකීම නිසි ලෙස ඉටු කරනවා මෙන්ම රටේ කිසිදු ජන කොටසක් අපහසුතාවයට පත් නොවන අයුරින් කටයුතු කිරීමේ වගකීම රාජ්‍ය නායකයා ලෙස තමා ඉටුකරන බවයි. අන්තවාදී ත‍්‍රස්තවාදයට ඉඩ නොතබමින් සහ ඊට සපුරා විරුද්ධ වෙමින් ශ‍්‍රී ලංකා මාතෘ භූමිය වෙනුවෙන් වගකීම් ඉටුකරන ලෙස මෙහි දී තරුණ තරුණියන්ට ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය. ඉස්ලාමීය ආගමික නායකයන්ගේ උපදෙස් හා මගපෙන්වීම අනුව මුස්ලිම් ජනතාවගේ ගැටලූ සඳහා ලබාදිය හැකි සියලූ විසදුම් ලබාදීමට කටයුතු කරන බවත් ඔහු එහිදි පෙන්වා දුනී.

    එම තරුණ තරුණියන් සමඟ සුහද කථා බහකට එක් වූ ජනාධිපතිතුමා ඔවුන්ගේ ඉල්ලීම්වලට ද සාවධානව ඇහුම්කන් දෙනු ලැබීය.

    මඩකලපුව විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳ සිදු කළ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ එම විශ්වවිද්‍යාලය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන එහි නීතිරීති අනුව කි‍්‍රයාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි. විශ්වවිද්‍යාලය මගින් පවත්වාගෙන යනු ලබන විෂය මාලා පිළිබඳව පැහැදිලි තීරණයක් ගැනීමට නියමිත බවත් ජනාධිපතිතුමා පෙන්වාදුනී.

    සයිනමරුදු ප‍්‍රදේශයට වෙනම ප‍්‍රාදේශීය සභාවක් ලබාගැනීම පිළිබඳ කළ ඉල්ලීම කෙරෙහි ද අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ පිළිබඳ අදාළ අංශ සමග සාකච්ඡා කරන බව පැවසීය.

    මෙම හමුවෙන් අනතුරුව පසුගිය අපේ‍්‍රල් 26 වනදා සයින්දමර්දු ප‍්‍රදේශයේ බෝම්බ පිපිරීම් සිදු වූ ස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එම ස්ථානය ද නිරික්ෂණ කළේය.

    අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් ද, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, වැඩබලන පොලිස්පති සී.ඞී. වික‍්‍රමරත්න සහ නැගෙනහිර ආඥාපති මේජර් ජනරාල් අරුණ ජයසේකර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News