චෝදනා 27 ක් ඇති කන්ජිපානි ඉම්රාන් රඳවා ප්‍රශ්න කිරීමට අවසර

මැයි 08, 2019

    ඩුබායිහි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් අනතුරුව දැනට රැඳවුම් නියෝග මත පොලිසිය භාරයේ රඳවා සිටින පාතාල කල්ලි නායකයෙකු වන කන්ජිපානි ඉම්රාන් ඇතුළු සැකකරුවන් තුන්දෙනෙකු නිරීක්ෂණය සඳහා අද (08) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

    කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම සැකකරුවන් තුන්දෙනා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා සිල්වා මහත්මිය හමුවට පමණූවනු ලැබීය. මෙහිදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ ආරක්‍ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත මෙම සැකකරුවන් තිදෙනා දින 90 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බවයි.

    මෙහි කන්ජිපානි ඉම්රාන් මිනීමැරීම, මිනි මැරීමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීම පිළිබඳව විවිධ අධිකරණවල නඩු 27 ක් පමණ පවතින බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන් අතර, මොවුන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකරන බව කියා සිටියේය.

    ඒ අනුව අදාළ සැකකරුවන් තුන්දෙනාගෙන් තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර දුන් විනිසුරුවරිය ඔවුන් නැවත නිරීක්‍ෂණය සඳහා ජුනි මස 12 වනදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළාය.

    Last modified on බදාදා, 08 මැයි 2019 18:20

    Latest News