තිලංග විධායක සභාවේ සිටීමේ නීත්‍යානුකූලභාවය විමසායි......ස්වාධීන පරීක්ෂණයක සති දෙකකින්

මැයි 03, 2019

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා මේ මස 7වැනිදා එංගලන්තය බලා පිටත්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් තිදෙනකු එක්වන බව ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු පවසයි.

    ලෝක කුසලාන තරගාවලියට පෙර එංගලන්තයේදී සති තුනක පමණ පුහුණු සැසියක් පැවැත්වෙන හෙයින් එහි ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මගින් සිදු කිරීමට නියමිතයි. රට තුල උද්ගතව ඇති තත්ත්වය සලකා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට මෙම පියවර ගත් බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේදී ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.

     ක්‍රීඩාව ජාතික සමගිය ගොඩ නැගීමට ඇති හොඳම අවස්ථාවක් ලෙස සලකා රට තුල සංහිඳියාවක් ඇතිවන සේ ඉදිරි කටයුතු සැලසුම් කරන බවද ඇමැතිවරයා පැවැසීය. ආරක්ෂක අංශවල උපදෙස් අනුව ඉදිරි ක්‍රීඩා තරගවලට උපරිම ආරක්ෂාව ලබාදීමට තිරණය කර ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලයේ සිදුවූ ගණුදෙනු සොය බැලීමට විගණාකාධිපති විසින් සිදුකරන වෝහාරික විගණන විමසුමේ කෙටුම්පත හෙට හෝ සඳුදා පාර්ලිමේන්තුවට ලැබෙනු ඇති බව ඔහු විශ්වාසය පළ කළේය.

    ඇමැති හරීන් ප්‍රනාන්දු “ අප සති දෙක තුනකින් ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණන විමසුමේ කෙටුම්පත බලාපොරොත්තු වුනත් විගණකාධිපති දෙපාර්තමේන්තුවට එසේ කළ නොහැකි බව සඳහන් කළා. ඒකට හේතුව එවැනි විෂයක් පිළිබඳ ගැඹුරින් සොයා බැලීමට යම් කාලයක් අවශ්‍ය නිසා. ඒ අතර රජයේ විගණකාධිපතිතුමා විශ්‍රාම ගියා. දැන් ඒ වාර්තාව සූදානම්.

    එය පාර්ලිමේන්තුවට ගිය පසු ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට පත්වෙනවා. ඒ වගේම තිලංග සුමතිපාල මහතා විධායක සභාවේ සිටීමේ නීත්‍යානුකූලභාවය විමසා ක්‍රිකට් ක්‍රීඩා සංගම් කිහිපයක් ලිපියක් එවා තියෙනවා. ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක වාර්තාව සති දෙකකින් ලබාදෙන බව ක්‍රිකට් ලේකම්වරයා මට දන්වා තිබෙනවා. ඒ වාර්තාව ලැබුණු පසු සෑහීමකට පත්වෙනවාද තවත් සොයා බැලීම් අවශ්‍යද යන්න තීරණය කරනවා“ ඇමැතිවරයා පැවැසීය.

    “ දැන් ක්‍රීඩා පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ක්‍රීඩා පනත සංශෝධනයේදී තරග පාවාදීම්වලට දඩුවම් ලබාදිය හැකි නීති ඇතුලත් කෙරෙනවා. සංගා - මහේල ඉදිරිපත්කොට ඇති කරුණු නීති විශාරදයන්ගේ අදහස් සමග ඉදිරියේදී නව නීතිවලට ඇතුලත් කිරීමට සූදානම්“ ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    මේ අතර ඉදිරියේ පැවැත්වෙන දකුණු ආසියා ක්‍රීඩා උළෙල වෙනුවෙන් සූදානම් කෙරෙන සියලුම ක්‍රීඩා සංචිත ශ්‍රී ලංකා යුද හමුදාව හරහා පුහුණු කිරීමට අපේක්ෂා කරන බවද ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය. ක්‍රීඩා සංචිත හමුදා පාලනයකට යටත් කිරීම එයින් අදහස් නොකරන බවද ඒ මහතා අවධාරණය කළේය.

    “ හමුදා වැඩසටහනක් අනුව පුහුණුව ලබාදීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හොඳ පහසුකම් ලබාදිය හැකි බව විශ්වාස කරනවා. අප ක්‍රීඩා දියුණුව වෙනුවෙන් වැය කරන්නේ මහජන මුදල්. ඒ සියලු මුදල් නියම ඉලක්කයක් වෙත යොමු කිරීම මහජන නියෝජිතයන් ලෙස අපේ වගකීම විය යුතුයි. යුද හමුදාව හරහා ක්‍රීඩා පුහුණුව දීමෙන් රජයේ මුදල් හරි තැනකට යොමු කොට නිසි ප්‍රථිපල ගත හැකි බවට විශ්වාසයක් තියෙනවා. මෙතෙක් ක්‍රීඩා අමාත්‍යාංශය ජාතික සංචිත නඩත්තු කිරීමේදී විවිධ මැසිවිලි ලැබී තිබෙනවා“ යැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ද මාධ්‍ය හමුවට එක්ව සිටියේය.

    Latest News