ක්‍රීඩා අමාත්‍යවරයා සුගතදාස ක්‍රීඩාංගනයේ හදිසි නිරීක්ෂණයක් (වීඩියෝ)

දෙසැ 09, 2019

    අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම අද පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ නිරීක්ෂණය කළේය.

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නේපාලයට ගොස් සිටින ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහතුන් දෙනෙකුට (13) ඩෙංගු උණ සහ තවත් හත් දෙනෙකුට (7) උණ රෝගය වැළඳී තිබිණ.

    එම ක්‍රිඩක ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකාවේ දී තාවකාලිකව නවාතැන් ගෙන ඇත්තේ මෙම සුගතදාස ක්‍රීඩාංගන පරිශ්‍රයේ ඇති සුගතදාස හෝටලයේ බව අනාවරණය වීමත් සමඟ මතුව ඇති තත්ත්වය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීම සඳහා අමාත්‍යවරයා විසින් මෙම හදිසි නිරීක්ෂණය සිදු කර ඇත.

    සුගතදාස හෝටල් පරිශ්‍රය සහ ක්‍රීඩාංගන පරිශ්‍රය ඉතා අපිරිසිදු කැලිකසල බහුල පරිශ්‍රයක් වන අතර, මේ වනවිට අදාළ හෝටල් පරිශ්‍රය තුළ මදුරු කීටයන් බහුලව ගැවසෙන බව ද ඊයේ දිනය තුළ කොළඹ නගරසභාවේ වෛද්‍ය නිලධාරී කණ්ඩායම සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් තහවුරු කර තිබේ.

    මෙහි දී අදහස් දැක් වූ අමාත්‍යවරයා...

    “බොහොම කාලෙකට පස්සෙ අපේ රටේ ක්‍රීඩාවේ රන් අස්වනු ලබාදෙමින්, රන් පදක්කම් 36ක් ශ්‍රී ලංකාවට ලබාදෙන්නට දකුණු ආසියානු ක්‍රීඩා තරගවලට සහභාගී වූ අපේ දරුවන්ට හැකිව තිබෙනවා. උණ රෝගය වැළදිලා, එහෙත් තරගාවලියට එක් වූ අය, උණ රෝගය වැළඳීම නිසා මානසික ව පසුබෑමට ලක් වූ අය මෙන් ම උණ රෝගය වැළඳිමෙන් තරගවලට සහභාගීවීමට නොහැකී වූ දරුවන් මේ අය අතර ඉන්නවා. මම මේ රටේ ක්‍රීඩා අමාත්‍යවරයා හැටියට මේ සම්බන්ධයෙන් දරුවන්ගෙන් සමාව ඉල්ලනවා. මම මේ දරුවන්ගෙ දෙමව්පියන්ට කතා කළා. මේ අයගෙන් වැඩි පිරිසක් ගම්වල ඉතාම අහිංසක දරුවො. මේ රටට කීර්තිය ගෙන දෙන මේ වගේ දරුවන්ගෙ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා.

    රටට ක්‍රීඩාවෙන් කීර්තිය ගෙන එන්නට වෙහෙසුණ මේ දරුවන්ට අත්වූ අමිහිරි සිදුවීම සම්බන්ධයෙන් මා නිහතමානී ව ඉතා කණගාටුවට පත්වෙනවා. මේක මගේ කාලෙ වුණ දෙයක් නෙවෙයි කියලා ඇඟ බේරාගන්න දේශපාලනයක් නෙවෙයි අපි කරන්නෙ. ”යැයි ද පැවසීය.

    සුගතදාස ක්‍රීඩාංගනය හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තාවකාලික ව නවාතැන් ගන්නා සුගතදාස හෝටල් පරිශ්‍රය මේ අයුරින් කිසිවෙකුගේ අවධානයට යොමු නොවී ඇත්තේ, පසුගිය වසර පහ තුළ සභාපතිවරුන් පස්දෙනෙක්, ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් තිදෙනෙක්, සහ ඇමතිවරුන් සිව්‍දෙනෙක් යටතේ විවිධ තීන්දු ගනිමින් ඉතා පිරිහුණු දේශපාලනයක් මේ තුළ ක්‍රියාත්මක ව පැවතී ඇති නිසා බව ද අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය. 2015 වසරේ මෙම පරිශ්‍රයෙහි ආරම්භ කරන ලද ඇතැම් ඉදිකිරීම් ද වැඩ අවසන් නොකොට ඒ අයුරින්ම තිබෙන අයුරු මෙහි දී අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

    මේ සම්බන්ධ ව අද ම අතිගරු ජනාධිපතිතුමා හමු වී සාකච්ඡාකර, මෙම පරිශ්‍රයෙහි පවත්නා කණගාටුදායක තත්ත්වය සම්බන්ධව එතුමන් දැනුවත් කරන බව ද, ඉතා ඉක්මණින් මෙම ආයතනයට සභාපතිවරයෙක් පත්කරන බව ද මේ පරිශ්‍රය මැදින් ගලාගෙන යන කැළි කසල සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පිරි ඇල මාර්ගය සහ මෙම ක්‍රීඩා පරිශ්‍රය සම්පූර්ණයෙන් ම පිරිසිදු කිරීමට නගරසභාවේ සහයෝගය ද ලබාගනිමින් ක්‍රීඩා අමාත්‍යාංශය විසින් කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    එමෙන්ම බාධා රැසක් මධ්‍යයෙහි මාතෘභූමිය රනින් සැරසූ දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දරුදැරියන්ට ආත්ම ශක්තියෙන් හා චිත්ත ධෛර්යයෙන් යුතුව අනාගත ජයග්‍රහණ ලබාගැනීමට හැකිවේවා!යි ආශිර්වාද කරන බව ද සඳහන් කළේය. මෙම දරුවන්ට රජය මැදිහත් වී කිසියම් වන්දි මුදලක් හෝ අනුග්‍රාහක දීමනාවක් ලබාදීමට ද, පදක්කම්ලාභී දරුවන්ට ජාතික මට්ටමේ ඇගයීමක් සිදුකිරීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. එමෙන් ම ජනාධිපතිතුමන් සහ අගාමාත්‍යතුමන් ‍මෙම ජයග්‍රාහකයින් සහ පසුගිය දා අන්තර්ජාතික කැරම් තරගාවලියෙන් අනුශුරතාව දිනාගත් ශ්‍රී ලාංකේය කණ්ඩායම ද ඉතා ඉක්මණින් හමුවීමට සූදානමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    Last modified on සදුදා, 09 දෙසැම්බර් 2019 20:27

    Latest News