කතානායක ව්‍යවස්ථා විරෝධියි....ආණ්ඩුවෙන් චෝදනාවක්

නොවැ 05, 2018

    කතානායකවරයා ව්‍යවස්ථා විරෝධි ආකාරයෙන් කටයුතු කරන බවට, එක්සත් ජනතා නිදහස් සන්ධානය චෝදනා කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණ.

    කතානායක කරූ ජයසුරිය මහතා අද නිකුත් කළ නිවේදනයක් සම්බන්ධයෙන්, සන්ධානය මේ බව ප්‍රකාශ කළේය. එම නිවේදනයෙන් කතානායකවරයා සඳහන් කර ඇත්තේ, බහුතරය පෙන්වීමට හැකිවනතුරු පෙර පැවති තත්වය පිළිගැනීමට සිදුවන බවයි. කෙසේ වෙතත්, එදා-මෙදාතුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ, අවස්ථා 42කදී පාර්ලිමේන්තුව වාර අවසන් කොට තිබේ.

    වැඩිම වාර ගණනක්, වාර අවසන් කර ඇත්තේ, 1978 සිට 1988 දක්වා වූ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිතුමාගේ පාලනය කාලය තුලයි. එම කාල සීමාවේදී අවස්ථා 7කදී, වාර අවසන් කෙරුණු අතර, අවස්ථා 4කදී මාසය ඉක්මවූ කාලයක් පාර්ලිමේන්තුවේ වාර අවසන් කෙරිණ.ආර්. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලයේ, අවස්ථා 4කදී ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිවරියගේ කාලය තුළ අවස්ථා 5කදී ද, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කාලය තුළ, අවස්ථා 3කදී ද පාර්ලිමේන්තුවේ වාර අවසන් කරනු ලැබීය.

    වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණි. එසේ තිබියදී කතානායක කරු ජයසුරිය මහතා විසින් ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කිරීම පිළිගත නොහැකි බව, එක්සත් ජනතා නිදහස් සන්ධානය අවධාරණය කරයි.

     

    Latest News