ජීවිත බිලිගත් ත්‍රස්තවාදී අන්තවාදී කල්ලි සොයා දැවැන්ත මෙහෙයුමක්

අප්‍රේ 25, 2019

    රට තුළ බෝම්බ පුපුරුවා අහිංසක මිනිස් ජීවිත බිලිගත් ත්‍රස්තවාදී අන්තවාදී කල්ලි අපරාධකරුවන් සොයා රටපුරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බව පවසන යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ අස්සක් මුල්ලක් නෑර පරීක්ෂා කර මෙම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන් ම විනාශ කර රට තුළින් පළවා හැර ඉතා කෙටි කාලයක් තුළ මේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරවන බව පවසයයි.

    පසුගිය දශක තුනක කාලයක් මේ රටේ පැවැති ත්‍රස්තවාදය නැත්තටම නැති කර දැමු අත් දැකිම්ද හරහා මෙම ත්‍රස්තවාදින් විනාශ කර ඔවුන්ට හොඳ පාඩමක් උගන්වා ලෝකයටම ඒ බව පෙන්වා දෙන බවත් යුද්ධ හමුදාපතිවරයා පවසා සිටින්නේ මේ වන විට ආරම්භ කර ඇති එම මෙහෙයුම් තුළින් ඉතා කෙටි කාලයක් තුළ මෙම ත්‍රස්තවාදය සම්පුර්ණයෙන්ම නැති කර දැමිමේ ඉලක්කය සාර්ථක කර ගන්නා බවට සහතික වෙමින්ය. නව හදිසි අවස්ථා බලතල යටතේ ත්‍රිවිධ හමුදාවට පොලිස් බලතල ලැබිමත් සමග යුද්ධ හමුදාව සෙසු හමුදාවන්වලද සහාය ඇති යුද්ධ හමුදාවේ සියලු බල ඇණිවලින් සමන්විත හමුදා සාමාජිකයන් හත් දහසකට ආසන්න පිරිසක් යොදා මේ වන විට එම මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද හමුදාපතිවරයා පවසයි.

    ඊයේ සිට ආරම්භ කර ඇති මෙම මෙහෙයුම්වලින් මේ වන විට මෙම ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් පනහකට ආසන්න පිරිසක් අත් අඩංගුවට ගෙන ඇත. වාහන විසිපහක්පමණ පරික්ෂාවට ලක්කර සැකකටයුතු යතුරු පැදි දෙකක් පුපුරුවා හැර තිබේ.

    යුද්ධ හමුදාවේ වැදගත්ම අංශ වන බුද්ධි අංශත් විශේෂ බළකාය වැනි ත්‍රස්තයන් සොයා පසුගිය කාලයේදි මෙහෙයුම් දියත් කර පළ පුරුදු දක්ෂ භට පිරිස් මෙම මෙහෙයුම්වලට යොදවා තිබේ.යුද්ධ හමුදා බුද්ධි මෙහෙයුම්ද වැඩි කර ඇත.

    පුද්ගලයන් පමණක් නොව මොවුන් විසින් මේ වන විට බෝම්බ අටවා රටපුරා යවා ඇතැයි කියන විවිධ වාහන මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ එම ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට යොදවා ඇති නිවාස ආදියද ඇතුළු සැම සියලු දෙයක් ම සොයා මෙම මෙහෙයුම් සිදු කරමින් පවති .

    යුද්ධ හමුදා බුද්ධි තොරතුරුවලට අනුව ත්‍රස්තවාදි අන්තවාදි සාමාජිකයන් රටේ විවිධ ප්‍රදේශවල සිට මෙම ත්‍රස්ත ක්‍රියා මෙහෙයවන බව සොයා ගෙන තිබෙනවා අප කිසිවිටකවත් මේ ත්‍රස්තවාදි සංවිධානයට තව දුරටත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් හරහා මේ රටේ විනාශයක් සිදු කිරිමට ඉඩ දෙන්නේ නැහැ මේ ව න විට හමුදාව ත්‍රස්තවාදින් විසින් ඉලක්ක කර ඇති රජයේ වැදගත් ස්ථාන සියල්ලකම ආරක්ෂාව තහවුරු කර තිබෙන බවද හමුදාපතිවරයා පවසයි.

    මේ වන විට යුද්ධ හමුදාව මගින් ආරම්භ කර ඇති මෙම මෙහෙයුමට පොලිසියත් විශේෂ කාර්ය බළකාය මෙන්ම නාවික ගුවන් හමුදාවන්ද සහාය වෙමින් සිටියි.

    උපුටාගැනීම - දිනමිණ

    Last modified on බ්‍රහස්පතින්දා, 25 අප්‍රේල් 2019 07:26

    Latest News