පක්ෂ නායකයින් මට අවවාද කළ කතාව බොරුවක්..

අප්‍රේ 21, 2019

    සජිත් ප්‍රේමදාස මහතා හා තමා අතර පෞද්ගලික වාද විවාදයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා තමාට අවවාද කළේ යැයි පළවන පුවත් සත්‍යයෙන් තොර බවත් රවී කරුණානායක මහතා පවසයි.

    කිසිදු ආකාරයෙන් තමන්ට එවැනි අවවාදයක් සිදු නොකළ බවත් වෙනත් අයෙකුට එවැනි අවවාද කළේ ද යන්න තමන් නොදන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කිරීම සඳහා පක්ෂයක් ලෙස ශක්තිමත්ව මුහුණ දෙන බවයි. එක්සත් ජාතික පක්ෂය යනු එක් පුද්ගලයෙකුගේ දෙයක් නොවන බව ද පෙන්වා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. ඉදිරි ජනාධිපති අපේක්ෂකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් හිමිවිය යුත්තේ ජ්‍යෙෂ්ඨයන්ට බවත්  නායක රනිල් වික්‍රමසිංහ මහතා හෝ කරූ ජයසූරිය මහතා ඒ සඳහා සුදුසුකම් ලබා සිටින බවද සඳහන් කළේය. තමන්ට ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා   දැනුම තිබුණ ද වයසින් මුහුකුරායා යුතු යැයි හෙතෙම අවධාරණය කළේය.

    රටක් සංවර්ධනය කිරීම සඳහා වූ  කාර්යභාරය ඇස් බැන්දුම් වැඩවලට වඩා ඉහළ ගිය දැක්මක් බවත් ආර්ථිකය කළමනාකරණය කිරීම රැකියා උත්පාදනය කිරීම ආදී කරුණු රැසක් රටක් පාලනය කරන නායකයෙකුට තිබිය යුතු යැයි හෙතෙම අවධාරණය කිරීම ද විශේෂත්වයකි.

    මේ දිනවල  අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ රවී කරුණානායක මහතා අතර ප්‍රසිද්ධියේ වාද විවාද එක්වීම පිළිබඳව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙදෙනාටම අවවාද කළේ යැයි මාධ්‍ය වාර්තා පළ වූ බවත් එහි සත්‍ය කුමක්දැයි මාධ්‍යවේදියකු අමාත්‍යවරයාගෙන් විමසීමක් කළේය.

    එහිදී අමාත්‍යවරයා කියා සිටියේ කිසිදු ආකාරයකින්  තමාට අවවාදයක් සිදු නොකළ බවය. ඇතැම් විට වෙනත් අයෙකුට අවවාද කළේ ද තමන් නොදන්නා බව ද කීවේය. සජිත් ප්‍රේමදාස මහතා සමඟ  අවවාද කිරීමට තරම් ආරවුලක්   නැති බව ද  මාධ්‍ය මගින් උලූප්පා දැක්වීමක් පමණක් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 09:52

    Latest News