දේවහූවේ දිරිය සහෝදරිය හා මස්සිනා මැරූ අයියයි මලෝ පොලිසියට කොටුවේ

අප්‍රේ 20, 2019

    ගලේවෙල,දේවහුව ප්‍රදේශයේ දී  ඉකුත් 15 දින රාත්‍රී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කාන්තාවගේ බාල සොහොයුරාත් ඊයේ(19) රාත්‍රී සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සිද්ධියට සම්බන්ධව ඊයේ(19) පෙරවරුවේ මියගිය කාන්තාවගේ වැඩිමහල් සොහොයුරාද ගිනි අවියක්ද සමග අත්අඩංගුවට ගැනිණ. ඔහුගෙන් ලබාගත් තොරතුරු අනුව බාල සොයුරා හා ඝාතනයට යොදාගත් පිහියක්  සමඟ   අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් තවදුරටත් ඔහුගෙන් ප්‍රශ්න කරන බව ගලේවෙල පොලිසිය පවසයි.

    මාස හයක කාලයක්  සිට තම සහෝදරිය සහ සහෝදරියගේ සැමියා දරු දෙදෙනා ඝාතනය කිරීම සඳහා සහෝදරයන් දෙදෙනා එක්ව සැලසුම් සකස් කළ බව  ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී තිබේ.මෙසේ මියගොස්  ඇත්තේ  කෘෂිකර්ම නිෂ්පාදන පර්යේෂණ සහකාර නිලධාරියෙකු වන ගාමිණී සුරවීර (53)  සහ ඔහුගේ බිරිද කෘෂි ආශ්‍රිත නිෂ්පාදන රැසක්  නිෂ්පාදනය කොට  මධ්‍යම පළාතේ දිරිය කාන්තාවට හිමි සම්මානය හිමිකරගත් අනුලා සුරවීර (51) යන අයයි.

    දෙමාපියන්ගෙන් හිමි ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් මෙම ඝාතන සිදුකළ බවත්  සහෝදර සහෝදරියන් පස් දෙනකුගෙන් යුතු පිරිස කාලයක සිට දෙකට බෙදී ජීවත් වන බව   සැකකරුවන්ගෙන්  ප්‍රශ්න කිරීමේදී හෙළි වී තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  මියගිය කාන්තාවගේ වැඩිමල් සොයුරා වූ අලුත් ගෙදර ජිනදාස (60) පුද්ගලික ආරක්ෂක නියාමකෙවරයෙක් සහ  බාල සොහොයුරා වූ අලුත් ගෙදර විමලසේන (53)රජයේ කොන්ත්‍රාත්කරුවෙකු බවත්  ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

    දුරකථන විශ්ලේෂණ සහ ඉතා රහසිගත පරීක්ෂණ ඔස්සේ ඉකුත් 15 දින සිදු වූ මෙම ඝාතනයේ සැකකරුවන් කඩිනමින් අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසියට පවසයි. ඇසින් දුටු කිසිදු සිද්ධියක් නොමැතිව ඝාතන සිදු වූ ස්ථානයට මදක් දුරින් වැටී තිබූ ගිනි පෙට්ටියක් ආධාරයෙන් මෙම ඝාතන සිද්ධියේ සැකකරුවන් අනාවරණය කර ගැනීමට හැකි වීම විශේෂත්වයකි.

    මෙසේ අත්අඩංගුවට ගත් සැකකාර සොහොයුරන් දෙදෙනා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට ප්‍රශ්න කිරීම සදහා රැදවුම් නියෝග ලබාගැනීමට යන බව පොලිසිය පවසයි. මෙම ඝාතන කුමන්ත්‍රණ සැලසුම සඳහා ළඟම ඥාතීන් කීප දෙනෙකුම සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කොට ඝාතනයට අනුබල දීම සහ සැලසුම්  කිරීම  ආදී චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ පොලිස් අධිකාරි එස්.පි.එස්.පි.සන්දනායක,දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එච්.එම්.ජේ.එස්.බි.හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් අනුව ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ජානක වීරරත්න මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 12:30

    Latest News