අද 12.11ට හිරු මුදුන්වන ප්‍රදේශ මෙන්න

අප්‍රේ 09, 2019

    අද දින විශේෂයෙන් ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඌව, සබරගමුව, මධ්‍යමසහ දකුණු පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර පසුව එම තත්ත්වය නැගෙනහිර පළාතට සහ මුලතිව් දිස්ත්‍රික්කයට පැතිර යා හැකියි.

    ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.100ක පමණ​ තද වැසි ඇතිවිය හැකි අතර එම පළාත්වල ප්‍රභල අකුණු තත්ත්වයන්ද ඇතිවිය හැකියි. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (09) දහවල් 12.11 ට මහවැව, අලළුව, කදහපොල, උහුමීය, උඩගම, කන්දනුවර, ගිරාඳුරුකෝට්ටේ, එල්ලේගොඩ, ගල්මෙද සහ පෙරියනිලවානෙයි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

     

    Last modified on අඟහරුවාදා, 09 අප්‍රේල් 2019 08:24

    Latest News