මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අද සිට

ජූනි 23, 2019

    ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ දිනයට සමගාමීව අද සිට මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත්කර තිබේ.

    ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කිරීමේ හා සමස්ත ශ්‍රී ලාංකිකයන් ඒ සඳහා පෙළගැස්වීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ප්‍රකාශයට පත් කර ඇත.

    ඒ අනුව මේ මස 26 වැනි දිනට යෙදෙන 'මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනය' තේමා කර ගනිමින් අද (23) සිට ජූලි 1 දක්වා මේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ක්‍රියාත්මක කෙරේ.

    මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළ යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති, නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම නිවාරණය හා ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය යන ප්‍රධාන තේමා ත්‍රිත්වය ඔස්සේ මේ වන විටත් දිවයිනම ආවරණය වන පරිදි වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතී.

    එම වැඩපිළිවෙළ තව දුරටත් ශක්තිමත් කිරීම මේ සතිය තුළ සිදු කෙරෙන අතර, සියලුම පළාත් ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් සිදුකිරීමට කටයුතු යොදා තිබේ. මේ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය තුළ පුනරුත්ථාපනය ඉලක්ක කර ගනිමින් සියලුම පළාත් ආවරණය වන පරිදි ප්‍රධාන වැඩසටහන් 9ක් ක්‍රියාත්මක කෙරෙන අතර, මතින් මිදීම පිළිබඳව දැනුවත් කිරීම, ඒ පිළිබඳව පවුල් දැනුවත් කිරීම, වෘත්තීය පුහුණු ආයතනයන්හි සිසුන් දැනුවත් කිරීම, පුනරුත්ථාපනයෙන් පසුව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් සම්බන්ධ පසුවිපරම් හා පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම යනාදී වැඩසටහන් මේ සතිය තුළ ක්‍රියාවට නැංවීමට සැලසුම් කර ඇත.

    දුම්වැටි, මධ්‍යසාර හා අනෙකුත් මත්ද්‍රව්‍යවලට පාසල් සිසුන් පෙළඹීම හා ඒවාට ඇදීයාම අවම කිරීමේ අරමුණින් ඇරඹී මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන කාර්යවනුයේ ඔවුන්ට ඒවා පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමයි.

    මත්ද්‍රව්‍ය ජාවාරම් හා ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා ගාස්තු රහිතව ඇමතුම් ගතහැකි 1984 දුරකථන අංකය මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් දැන් හදුන්වාදී තිබේ.

    පුනරුත්ථාපනයට යොමු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ප්‍රසිද්ධ ස්ථානවල පෝස්ටර් හා බැනර් ප්‍රදර්ශනය කිරීම, ප්‍රජා විශෝධන හා මත් නිවාරණය සම්බන්ධ අත්පත්‍රිකා බෙදාහැරීමට ‍දිවයිනේ සියලු පොලිස් ස්ථාන හා විශේෂිත ඒකක මඟින් වැටලීම් හා ඒකාබද්ධ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ඇතුළු සුවිශේෂී වැඩසටහන් රැසක් මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය. මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන උත්සවය ජුලි 01 වැනි දින සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    අද (23) සිට ජුලි 01 දින දක්වා දෙපාර්තමේන්තුව විසින් සාර්ථකව විශෝධනයට ලක් කළ ආඥාලාභීන්, විශෝදන ක්‍රියාවලිය තුළ සිටින ආඥාලාභීන් හා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් අදාළ වැඩසටහන් දියත් කරනු ලබයි.

    මෙම වැඩසටහන් මඟින් මත්ද්‍රව්‍ය සම්බන්ධව වැරදිකරුවන් වී සිටි ආඥාලාභින් ,දෙපාර්තමේන්තුව මගින් සාර්ථකව විශෝදනයට ලක් කර සිටින ආඥාලාභීන් හා විශෝධන ක්‍රියාවලියේ සාර්ථකව ගමන් කරන ආඥාලාභීන්, මත්ද්‍රව්‍ය සඳහා ගත කළ කාලය ජාතික වැදගත්කමක් සහිත කටයුතු සදහා යෙදවීමට අපේක්ෂා කෙරේ.

    Last modified on ඉරිදා, 23 ජූනි 2019 09:00

    Latest News