ප්‍රසන්නට හා මොරීන්ට විදේශගතවීමට අවසර

මාර් 25, 2019

    ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංග යන අයට විදේශගතවීම සඳහා කොළඹ මහාධිකරණය අද(25) අවසර ලබා දී ඇත.

    කොළඹ, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නිරවුල් කර දීම සඳහා ව්‍යපාරිකයකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි ප්‍රසන්න රණතුංග මහතාට සහ එම මහත්මියට චෝදනා එල්ල වී තිබේ. එමනිසා අධිකරණය මගින් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර තිබිණි.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැඳවනු ලැබිණ.

    එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීමක් කරමින් තම සේවාදායකයන්ට මැයි මස 03 වනදා සිට එම මස 20වනදා දක්වා කාලසීමාව තුළ යුරෝපයේ සංචාරය කිරීමට අවශ්‍යව ඇති බවත් ඒ සඳහා අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන්නැයි ඉල්ලා තිබේ.

    එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය විනිසුරු මංජුල තිලකරත්න මහතා අදාළ කාල සීමාව සඳහා විත්තිකරුවන්ට විදෙස් ගත වීමට අවසර දුන් අතර නඩු විභාගය පැවැත්වෙන දිනවල නිසි පරිදි අධිකරණයේ පෙනී සිටින්නැයි විත්තිකරුවන්ට අවවාද කර ඇත. මෙම නඩු විභාගය මැයි මස 23 වන දා පැවැත්වීමට අධිකරණය නියම කළේය.

    2015 වසරේ දී කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි වගුරු බිමක් ගොඩකර එහි පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කර නිරවුල් කර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

    Latest News