ලෝක කම්කරු දිනය අදයි කොළඹ මැයි රැළි 6ක් - මහනුවර 2ක්

මැයි 01, 2023

    137 වැනි ජාත්‍යන්තර කම්කරු දිනය සැමරීමට අද දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සැලසුම් කර තිබෙනවා. මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමඟි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ මැයි දින සැමරුම් කොළඹ දී පවත්වන අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එය මහනුවර දී සමරනු ලබනවා.

    සමාජවාදී ජනතා පෙරමුණ, උත්තර ලංකා පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයද කොළඹ දී මැයි දිනය සමරන අතර නිදහස ජනතා සභාව මැයි දින සැමරුම පවත්වනු ලබන්නේ මහනුවරදී.

    එක්සත් ජාතික පක්ෂය ‘2048 ජයගමු’ තේමාව ඔස්සේ සිය මැයි දින රැලිය ජාතික සේවක සංගමය මුල් කරගෙන තරුණ පෙරමුණ හා ලක්වනිතා පෙරමුණ ඇතුළු පක්ෂයට සම්බන්ධ සියලු බහුජන සංවිධාන එක්කර ගනිමින් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පෙරවරු 09.00ට පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හිටපු ජනාධිපති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ‘අභියෝග බිඳ අභිලාෂ ජයගමු’ මැයෙන් මැයි රැලිය සිය වෘත්තීය සමිතිවල සභභාගිත්වයෙන් කොළඹ බොරැල්ල කැම්බල් පිටියේ දී සවස 2.00ට ආරම්භ කෙරේ.

    සමගි ජන බලවේගය එහි වෘත්තීය සමිති පෙරටු කරගෙන පක්ෂයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලිය සවස 3.00ට පිටකොටුව ඒ.ඊ. ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර, එහි පෙළපාළිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩංගණය අසළින් දහවල් 1.00ට ආරම්භ කෙරෙනු ඇත.

    ජනතා විමුක්ති පෙරමුණ සිය මැයි රැලිය ‘රට විකුණන, ජනපීඩක දූෂිත පාලනය පරදා ජනතාවාදී පාලනයක් ගොඩනඟමු’ යන තේමාව ඔස්සේ කොළඹ විහාර මහා දේවි උද්‍යානය අසළදී එම පක්ෂයට සම්බන්ධ සියලු වෘත්තීය සමිති, තරුණ හා කාන්තා සමිති එක්ව සවස 4.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහි පෙළපාළිය සවස 2.00ට හැව්ලොක් ටවුන් බී.ආර්.සී. ක්‍රීඩාංගණය අසළින් ආරම්භ කිරීමට නියමිතයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ‘නිවහල් වෙමු සවිමත් වෙමු’ යන තේමාව ඔස්සේ සිය වෘත්තීය සමිති සමඟ එක්ව මැයි රැලිය මහනුවර පොදු වෙළෙඳපොළ ඉදිරිපිටදී සවස 1.00ට පවත්වමු ලබයි. දැයේ උන්නතියට කැපවුණු වැඩ කරන ජනතාවගේ මැයි රැලිය ලෙස මෙය හඳුන්වා තිබෙනවා.

    පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිය වෘත්තීය සමිති වන කම්කරු අරගල මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් මැයි රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී සවස 3.00ට පවත්වයි. මැයි පෙළපාළිය සවස 1.00ට දෙල්කඳ මංසන්ධියෙන් ආරම්භ කෙරෙනු ඇත. මෙම මැයි රැලියේ තේමාව වී ඇත්තේ ‘අයි.එම්.එෆ්. මර උගුලට, ඉන්දියන් අමෙරිකා යටත්විජිතකරණයට එරෙහිව වැඩ කරන ජනතා බලයක්’ යනුවෙනි.

    • මේ අතර ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ මැයි රැලිය ලෙස්ලි දේවේන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිංහල වෙළෙඳ පෙරමුණ ශාලාවේ දී පෙරවරු 9.30ට පවත්වයි. මෙහි තේමාව වී ඇත්තේ ප්‍රතිත්‍රස්ත පනත, බදු සංශෝධන පනතට එරෙහි වීම හා රාජ්‍ය ආයතන නිර්දේශපාලනය කරමු යන්නයි. මෙහිදී ආචාර්ය චමිල් ලියනගේ හා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරු විශේෂ දේශන පවත්වනු ඇති.
    • ලංකා බැංකු සේවක සංගමය සමඟ එක්වන නිදහස් වෙළෙඳ කලාප පොදු සේවක සංගමය, ලංකා ගුරු සංගමය ඇතුළු ස්වාධීන වෘත්තීය සමිති 35ක් එක්ව පවත්වනු ලබන ‘අයිතීන් දිනාගැනීමට එක්සත් වෙමු - ජනපීඩනය හා මර්දනය පරදවමු’ මැයෙන් පවත්වන ජනතාවගේ ඒකාබද්ධ මැයි රැලිය මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේ දී සවස 3.00ට පැවැත්වේ. පෙළපාළිය සවස 1.00ට කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිටින් ආරම්භ කෙරේ.
    • මේ අතර ඉලංගෙයි තමිල් අරසු කච්චු පක්ෂය සංවිධානය කරන මැයි රැලියක් සවස 2.00ට සුපුරුදු පරිදි යාපනය නගර මැද පවත්වන අතර, මඩකලපුවේදී ද විශේෂයෙන් ධීවර ගැටලු මුල් කරගත් මැයි රැලියක් කලුවන්කර්නි නම් ධීවර ගම්මානයේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර දී තිබේ. මෙම රැලිවලදි වසර කිහිපයක සිට ගොවීන් හා ධීවරයන් මුහුණ දෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට කටයුතු සංවිධානය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
    • ලංකා පොදු වෙළෙඳ කාර්මික පොදු සේවක සංගමය (සි.එම්.යු.) සංවිධානය කරන මැයි රැලිය පෙරවරු 9.30ට කොල්ලුපිටිය බාලා තම්පෝ පටුමඟේ පිහිටි සිය ප්‍රධාන කාර්යාලයේ දී රැස්වීමක් පැවැත්වීමට නියමිතයි. ‘වැඩ කරන ජනතාවට ජීවන වැටුපක් දිනා ගැනීමට සටන් කරමු’ ඇතුළු තවත් තේමා කිහිපයක් ඔස්සේ මෙය පැවැත්වේ.
    • ලංකා කම්කරු කොංග්‍රසය මෙවර එහි නායක ඇමැති ජීවන් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි රැලියක් නොපැවැත්වෙන අතර මැයි දින සැමරුම වෙනුවෙන් සිය ශාඛා තිබෙන වතු ආශ්‍රිතව රැස්වීම් පනහක් සංවිධානය කරනු ඇති බවයි වාර්තා වන්නේ. මෙහි තේමාව වනුයේ ‘වතු කම්කරු ජනතාවගේ අයිතීන් සුරකිමු’ යන්නයි. මෙම රැස්වීම් උදෑසන කාලයේ එකම වේලාවක පැවැත්වීම විශේෂයකි.
    • මේ අතර නිදහස ජනතා සභාව 'නිදහස රටටමැයි' තේමාව ඔස්සේ පවත්වන මැයි රැලිය මහනුවර සහශ්‍ර උයනේදී සවස 3.00ට පවත්වන අතර, එහි පෙළපාළිය සවස 1.00ට මහනුවර නගර සභාව අසලින් ආරම්භ කෙරෙනු ඇත.
    • දමිල ප්‍රගතිශීලි සන්ධානයට අයත් වෘත්තීය සමිති ඒ ඒ වතුවල මැයි රැස්වීම් පවත්වන අතර, පොදුවේ විශාල මැයි දින සැමරුමක් සිදු නොකිරීමට තීරණය කර තිබෙනවා.
    • ලංකා ජාතික වතුකම්කරු සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සූරේෂ් මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාජික සමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් දහවල් 1.00ට බදුල්ල නගරයේ රැස්වීමක් පවත්වන අතර, පෙරවරු 10.00ට පෙළපාළියක් ආරම්භ කෙරේ.
    • ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මැයි රැලිය කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේ ශ්‍රවණාගාරයේ දී සවස 2.00ට එම පක්ෂ නායක රුක්ෂාන් මාලින්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
    • රාජ්‍ය කළමනාකරණ නිලධාරින්ගේ සංගමය මෙහෙයවන මැයි රැස්වීමක් කොළඹ ලිපිකරු සංගම් ශාලාවේ දී උදේ 1.00ට පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

    Latest News