ලොව දරුණුතම ත්‍රස්තවාදය සමඟ සටන් කර ජයගත්තා වූ අප කොවිඩ්19 හමුවේ දන නමන්නේ නැහැ - අගමැති (වීඩියෝ)

මැයි 01, 2020
  • මසකට වැඩි කාලයක් රටේ ප්‍රධාන නගර ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුව ද ලක්‍ෂ 15කට අධික රාජ්‍ය සේවයේ වැටුප් අඛණ්ඩව ලබාදීමට හැකි වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

    එදිනෙදා රැකියාව කිරීමට නොහැකි වූ හැත්තෑ දෙලක්‍ෂයක් ජනතාවට ජීවනාධාර ලබාදීමට ද පියවර ගෙන තිබේ. එමෙන්ම වැඩකරන ජනතාවට බලපාන කර්මාන්ත හා ව්‍යවසාය රැකීමට අවශ්‍ය බදු සහන ලබාදීමට ද මේ දුෂ්කර අවස්ථාවේ රජය ක්‍රියා කර ඇතැයි, අග්‍රාමාත්‍යවරයා ලෝක කම්කරු දිනය නිමිත්තෙන් නිකුත් කළ පණිවුඩයේ සඳහන්. වැඩකරන ජනතාවගේ ශක්තිය ගොනු කළා වූද ලොව දරුණුතම ත්‍රස්තවාදය සමඟ සටන් කර ජයගත්තා වූ ද අප මෙබඳු ප්‍රශ්න හමුවේ දන නමන්නේ නැහැ. අතීතයට දොස් නඟමින් කෙඳිරි ගෑම ද අපගේ සිරිත නොවේ යැයි, අග්‍රාමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කරයි. ස්වයංපෝෂිත ආර්ථිකයක් කෙරෙහි විශ්වාසය තැබීමට සියලු දෙනාට සිදුවීම කොවිඩ් 19 ඉගැන්වූ පාඩමක්.

    රාජ්‍ය අංශ සතු ව්‍යාපාර රැක ගනිමින්, දේශීය ආර්ථිකය ගොඩනඟමින් ක්‍රියා කිරීමේ ප්‍රතිපත්තියෙහි එදා සිට කැප වූ අපට වසංගතය හේතුවෙන් ජනතාව තුළ එම අදහස් තහවුරුවීම අපට ලැබෙන දැවැන්ත ධෛර්යයක්. කම්කරු ජනතාවගේ ශක්තිය, එකමුතුකම ප්‍රදර්ශනය කළ පෙළපාලි හා රැස්වීම්වලින් තොරවුද අපගේ ශක්තිය එකමුතුකම ප්‍රදර්ශනය කරන්නට මඟක් තිබේ. ඒ, සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඒ සඳහා ක්‍රියා කරමින් වසංගතය දුරලීමට සටන් වඳින සියල්ලන්ට වැඩකරන ජනතාවගේ ධෛර්ය හා සහය ලබාදීමෙන් බව අග්‍රාමාත්‍යවරයා පවසයි. කොවිඩ් 19 වසංඟතය හමුවේ මෙතෙක් ලෝකය පිළිගත් විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ හැකියාව ප්‍රශ්න කරමින් සිටී. ලංකාව ද අනුගමනය කළ එම ප්‍රතිපත්තියේ වෙනසක් කළ යුතුය යන පාඩම කොවිඩ් 19 වසංගතයට අපට උගන්වයි. මේ මොහොතේ අප ක්‍රියා කරන්නේ, අනාගතයේ මතුවන තත්වයන්ට මුහුණදීමේ චිත්ත ශක්තිය ඇතිව බව යැයි අග්‍රාමාත්‍යවරයාගේ මැයි දින පණිවුඩයේ සඳහන්.

    Last modified on සිකුරාදා, 01 මැයි 2020 20:40

    Latest News