පාසල් සිසුන්ටත් ගිනි රස්නෙන් බේරෙන්න විදිහක්

අප්‍රේ 24, 2023

    දිවයිනට බලපා ඇති අධික උෂ්ණත්වය මත පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා.

    දහඩිය දැමීම හේතුවෙන් විජලන සහ ලවන ඉවත් වීම හේතුවෙන් ඇති වන මස් පිඩු පෙරළීම, අධික මහන්සිය සහ ආඝාත තත්වයන් ඉහළ යාම මෙහි බරපතල තත්වයක් බවයි, සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

    මෙවැනි අවස්ථාවල දී සිදුකළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද සෞඛ්‍ය ආමාත්‍යාංශය පාසල් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

    එමෙන්ම පාසල් ක්‍රියාකාරකම්වල නිරත වීමේදී අධික උෂ්ණත්වය පවතින දිනවල සිසුන් එළිමහනේ හෝ ක්‍රීඩා පිටියේ ක්‍රියාකාරකම්වල යෙදීමෙන් වැළකිය යුතු අතර සිසුන් විවේක කාලයේ දී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම හා ක්‍රීඩා කිරීමෙන් වළක්වා ගත යුතු බවයි දන්වා ඇත්තේ.

    වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීම සඳහා කෙටි විවේක කාල දෙකක් ලබාදීම වඩාත් සුදුසු බව ද එම නිවේදනයේ සඳහන්.

    අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී සිසුන් පාසලෙන් ඉවතට යැවීම වළක්වා ගත යුතු අතර අධික උෂ්ණත්වය සහිත දිනවල නිවාසාන්තර ක්‍රීඩා හා පුහුණුවීම් නැවැත්විය යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.

    මීට අමතරව මෙවැනි අවස්ථාවන්වල දී පහසුකම් සැලසීම යටතේ සහ සිසුන්ගේ පුද්ගලික පෙර සූදානම යටතේ ද සෞඛ්‍ය අමාත්‍යාංශ නිර්දේශ නිකුත් කර තිබෙනවා.

    Latest News