විභාග දෙපාර්තමේන්තුව On line සමත්

මාර් 21, 2019

    පාසල් විභාග සඳහා මාර්ගගත ක්‍රමය (ON LINE) අත්හදා බලමින් මෙවර, උසස් පෙළ සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය පැවැත්වීම සාර්ථක වූ බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි.

    ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ කටයුතු නවීකරණය සඳහා 2017 වසරේ දී අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත විද්වත් කමිටුවක් පත් කෙරිණ.

    එම කමිටු නිර්දේශයන්හි අඩංගු ඩිජිටල්කරණ වැඩසටහන යටතේ අ.පො.ස (උ. පෙ.) සිසුන්ට 12 ශ්‍රේණියේ දී පවත්වන සාමාන්‍ය තොරතුරු තාක්‍ෂණ විභාගය GIT මාර්ගගත ක්‍රමය (Online) ක්‍රමය යටතේ පැවැත්වීමට පියවර ගැණින. එහි පෙරහුරු පරීක්‍ෂණය පසුගිය 11 සිට 18 දක්වා සිසුන් 186,000කට දිවයිනේ පරිගණක මධ්‍යස්ථාන 655ක පැවැත්විණ. එහි අවසාන පරීක්‍ෂණය ලබන මැයි මස පැවැත්වේ.

    මෙහි දී සිසුන්ට සහ ගුරුවරුන්ට මාර්ගගත ක්‍රමය පිළිබඳව පුහුණුවක් ලබාදී තිබේ. ඉදිරියේ දී දෙපාර්තමේන්තුවල කාර්යක්‍ෂමතා කඩ-ඉම් විභාග, අ.පො.ස (සා. පෙ.) සහ උසස් පෙළ විභාග සඳහා ප්‍රායෝගික පරීක්‍ෂණ පැවැත්වීමට අවධානය යොමු කර ඇතැයි, විභාග දෙපාර්තමේන්තුව පවසයි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 21 මාර්තු 2019 18:41

    Latest News