2023 දී 7-8 % ත් අතර ආර්ථික වර්ධන වේගයක්

නොවැ 14, 2022

    මෙවර අයවැයෙන් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් හඳුන්වාදී තිබෙනවා. ඒ යටතේ, අපනයනය මූලික කර ගත් තරගකාරී ආර්ථිකයක්, පරිසර හිතකාමී හරිත නිල ආර්ථිකයක් සහ ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීමට නියමිතයි.

    එහිදී, සියයට 7 ක හෝ අටක ඉහළ ආර්ථික වර්ධනයක් ජාත්‍යන්තර වෙළෙඳාම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 100% කට වඩා ඉහළ මට්ටමට ගෙන ඒමට අපේක්ෂා කෙරෙනවා. 2023 සිට 2032 දක්වා නව අපනයන මගින් අමෙරිකන් ඩොලර් බිලියන 3 ක වාර්ෂික වර්ධනයක් සහ ඊළඟ වසර 10 තුළ වාර්ෂිකව අමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා  සෘජු විදේශ ආයෝජන හා කුසලතාවයෙන් හෙබි අන්තර් ජාතික වශයෙන් තරගකාරී ශ්‍රම බලකායක් නිර්මාණය කර ගැනීමට ද නියමිත බවයි, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අයවැය යෝජනාවල සඳහන් වන්නේ. රාජ්‍ය ආදායම 2025 වසර ආසන්නයේදී 15% දක්වා වැඩි කිරීමට අවශ්‍ය ක්‍රමෝපායික වැඩපිළිවෙළක් හඳුන්වා දී තිබෙනවා. උද්ධමනය පාලනය කළ හැකි තනි ඉලක්කමක මැදි  අගයක් දක්වා යළි එය ගෙන ඒමට අපේක්ෂිතයි. ‍විනිමය අනුපාතය මත වන අහිතකර පීඩනය අඩු කර ගැනීමට අපේක්ෂිතයි.

    ආර්ථිකය, ශක්තිමත් කිරීමට විදේශ වෙළෙඳ හා ආයෝජනය සම්බන්ධ නියෝජිත ආයතනයක්, නව ආර්ථික කලාප කිහිපයක් හා ජාතික ඵලදායීතා කොමිෂන් සභාවක් ස්ථාපනය කෙරෙනු ඇති. ගෝලීය වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කිරීම, සැපයුම් සේවා ආශ්‍රිත යටිතල පහසුකම් සංවර්ධන වැඩසටහනක් හඳුන්වාදීම සහ ආයෝජන ප්‍රවර්ධනය යාවත්කාලීන කිරීම සඳහා රුපියල් මිලියන 200 ක් වෙන් කොට නව වැඩසටහනක් ද හඳුන්වා දීමට නියමිතයි. නව කම්කරු ප්‍රතිපත්තියක් හඳුන්වාදීම, කෘෂි අපනයන සඳහා ඉඩම් නව ක්‍රමවේදයක් යටතේ ලබා දීම සහ රජයේ ඉඩම් බැහැර කිරීම ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් පමණක් සිදු කෙරෙන විධිමත් වැඩපිළිවෙළක් හඳුන්වාදීමට මෙවර අයවැයෙන් යෝජනා කෙරෙනවා. මෙරට ඛනිජ සම්පත් සංවර්ධනයට කමිටුවක් ද පත් කෙරෙනු ඇති. ශ්‍රී ලංකාවට පමණක්  විශේෂ වූ කුරුඳු වගාව සංවර්ධනයට හා අගය එකතු කළ කුරුඳු නිෂ්පාදන කර්මාන්තය වැඩි දියුණු කිරීමට ප්‍රථම වරට කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීම නව අයවැයේ ප්‍රමුඛ යෝජනාවක්. එමෙන්ම, සමුද්‍රීය සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනයට රුපියල් මිලියන 50 ක් වෙන‍් කෙරෙනවා. ජලය මත ලිස්සා යාම වැනි ත්‍රාසජනක ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමට ද නියමිතයි.

    දුෂ්කර ප්‍රදේශවල පිහිටි ජ්‍යෙෂ්ඨ, කණිෂ්ඨ සහ ද්විතීක පාසල් දහසක් සඳහා නොමිලයේ අන්තර්ජාල පහසුකම් ලබාදීමට අයවැය යෝජනාවලින් අපේක්ෂා කෙරෙනවා. පළාත්, ජාතික හා ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 200 ක් ලබා දෙනවා. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට කුසලතා පදනම මත ඇතුළත් කර ගැනීමේ ප්‍රතිශතය 40% සිට 50% දක්වා වැඩි කිරීමට යෝජිතයි. වෛද්‍යවරුන් සඳහා පශ්චාද් උපාධි අවස්ථා වැඩි කෙරෙන අතර, පේරාදෙණිය, රුහුණ හා යාපනය විශ්වවිද්‍යාලයන්හි වෛද්‍යවරුන් සඳහා පශ්චාද් උපාධි අධ්‍යයන වැඩසටහන් හඳුන්වාදීමට නියමිතයි. උසස් පෙළ සමතුන්ට හා උපාධිධාරීන්ට විශේෂ ශිෂ්‍යත්ව ලබාදීමට, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය සඳහා නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීම, ඉතිහාසය පිළිබඳ හැදෑරීමට හා පර්යේෂණ කිරීමට නව ආයතනයක් ස්ථාපනය කෙරෙනු ඇති. මෙවර අයවැයේ යෝජනාවල එක් විශේෂිත කාරණාවක් වන්නේ, බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමයි. දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම, පුද්ගලික අංශයේ සේවකයින්ට රක්ෂණාවරණයක් ලබාදීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරෙනවා.

    ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මාර්ග ගත විද්‍යුත් පද්ධතියක් හා මිරිදිය ධීවර කර්මාන්තය සංවර්ධනයට රුපියල් මිලියන 100 ක් ලබාදීමට ද නියමිතයි. ඉහළ ආදායම් උපයන්නන් හඳුනා ගැනීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග හඳුන්වාදීමට අපේක්ෂා කෙරෙනවා. රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යෝජනා කිහිපයක්ම අයවැය යෝජනාවට ඇතුළත්. සංවර්ධන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ අරමුණින්, ජාතික මෙහෙයුම් මැදිරියක් ස්ථාපනය කෙරෙනවා. විශේෂ කාණ්ඩ හැරුණු කොට සන්නද්ධ හමුදා සාමාජිකයන් සඳහා වසර 18 ක සේවා කාලයකින් පසු සිය කැමැත්තෙන් විශ්‍රාම යාමේ ඉඩ ප්‍රස්ථා ලබාදීමට නියමිතයි. 2023 වසර අග වන විට රාජ්‍ය සේවකයන්ට හා විශ්‍රාමිකයින්ට සැලකිය යුතු සහනයක් ලබාදීමට අපේක්ෂිතයි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, කොළඹ හිල්ටන් හෝටලය, වෝටර්ස් එජ් හෝටලය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇති අතර, එමගින් විදේශ විනිමය සංචිත වැඩි කොට, රුපියල ශක්තිමත් කිරීමට පියවර ගනු ඇති. ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කෙරෙනවා. සමෘද්ධි වැඩිහිටි විවිධ හැකියා ඇති පුද්ගලයන්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමනා ඊට අදාළ ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබාදීමට දැනට වෙන් කර ඇති ප්‍රතිපාදනවලට අමතරව, රුපියල් බිලියන 43 ක අමතර වෙන් කිරීමක් ලබා දී තිබෙනවා.

    ළමා පෝෂණය වැඩි කිරීම සඳහා වෙන් කෙරුණු මුදල, රුපියල් මිලියන 500 ක්. කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10 ක් ස්ථාපනය කෙරෙනවා. දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව, හෙක්ටයාර 4 කට වඩා අඩු‍ පොල් ඉඩම් කැබලි කිරීමට ඉඩ දී ඇති බැවින්, බොහෝ සාරවත් පොල් ඉඩම් කැබලි කිරීමට ලක් කිරීම හේතුවෙන් වාර්ෂික පොල් නිෂ්පාදනයට දැඩි බලපෑමක්  එල්ල වී තිබෙනවා. එබැවින්, දැනට පවතින නීතිමය විධි විධාන සංශෝධනය කොට, පොල් ඉඩම් කැබලි කිරීම අක්කර 1 කට හෝ ඊට අඩු පොල් ඉඩම් සඳහා පමණක් සීමා කිරීමට යෝජනා කෙරෙනවා. ත්‍රෛලෝක විජය පත්‍ර‍ බෝගය අපනයනය සඳහා නිෂ්පාදනය කිරීමට ඇති හැකියාව, සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත් කිරීමට ද යෝජිතයි. පසු අස්වනු වගා හානි අඩු කිරීමට හා ගබඩා පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 150 ක් අයවැයෙන් ලබාදී තිබෙනවා. ඊට අමතරව, එම විෂය සංවර්ධනය කිරීමෙහිලා විශේෂඥ කමිටුවක් ද පත් කෙරෙනු ඇති. දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට 2023 දී රුපියල් මිලියන 100 ක් ලබා දීමට යෝජිතයි.

    ගංවතුර ආරක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමට අයවැයෙන් යෝජිත මුදල රුපියල් මිලියන 500 ක්. දේශගුණික වෙනස් වීම් පිළිබඳව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් ස්ථාපනය කිරීමට රුපියල් මිලියන 100  ක් වෙන් කෙරෙනවා. වනගහනය වැඩි කිරීමට, රුපියල් මිලියන 50 ක් හා සුරාබදු කටයුතු සඳහා නව රසායනාගාරයක් ඉදිකිරීමට රුපියල් මිලියන 100 ක් වෙන් කෙරෙනවා. මාර්ග නඩත්තුව සඳහා අයවැයෙන් වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100 ක්. සූර්ය බලශක්තිය හා විද්‍යුත් මෝටර් කාර් නිෂ්පාදනයට පහසුකම් ලබාදීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා. ආගමික සිද්ධස්ථාන සඳහා විදේශ මූලාශ්‍ර හා රාජ්‍ය දායකත්වය යට‍තේ සූර්ය පැනල ලබාදීමට වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනවා. කෘෂිකර්මාන්තයට තරුණ ප්‍රජාව ආකර්ශනය කර ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට රුපියල් මිලියන 120 ක් ලබාදීමට නියමිතයි. කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීමට හා ණය යෝජනා ක්‍රමයක් ස්ථාපනයට ලබා දෙන මුදල රුපියල් මිලියන 250ක්. පානීය ජල බෝතල්වල සුරක්ෂිතතාව හා ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමට මුද්‍රාවක් හඳුන්වා දෙනු ඇති. රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 100 ක් ලබාදීමට නියමිතයි.                                                                  

    බදුල්ල, කුරුණෑගල හා පොළොන්නරුව රෝහල් ශික්ෂණ රෝහල් ලෙස උසස් කෙරෙනවා. රජයේ රෝහල්වල ගෙවීමේ වාට්ටු ක්‍රමය යළි ක්‍රියාත්මක කෙරෙන අතර, එහි පළමු අදියර ලෙස ජාතික හා මූලික රෝහල් තෝරාගෙන තිබෙනවා. අයවැය යෝජනා අධීක්ෂණයට කාර්ය සාධන බලකායක් පිහිටුවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. බදු ගෙවන්නන්ගේ පොරොන්දු හා අයිතීන් ආවරණය වන පරිදි ප්‍රඥප්තියක් හඳුන්වාදීමට යෝජිතයි. බදු විගණනය හා සත්‍යාපනය කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරෙනවා. සුරා බදු දෙපාර්තමේන්තුවේ සහ ශ්‍රී ලංකා රේගුවේ බදු එකතු කිරීමේ කාර්ය සාධනය වර්ධනය කිරීමට නීතිමය සංශෝධන හඳුන්වාදීම සිදු වෙමින් පවතිනවා.

    Last modified on සදුදා, 14 නොවැම්බර් 2022 18:49

    Latest News