මෙට්‍රික් ටොන් 22,000ක යූරියා පොහොර අනිද්දාට

නොවැ 12, 2022

    ලෝක බැංකු ණය යටතේ මෙට්‍රික් ටොන් 22,000ක යුරියා පොහොර තොගයක් රැගත් තවත් නෞකාවක් අනිද්දා (14) කොළඹ වරායට පැමිණීමට නියමිතයි.

    2022/23 මහ කන්නයේ වී සහ බඩඉරිඟු වගාවන් සඳහා යුරියා පොහොර මිල දී ගැනීමට ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 105ක ණය මුදලක් අනුමත කරන ලදී. එම ණය මුදල් යටතේ අප රටට ලැබෙන දෙවන යුරියා පොහොර ‌ ‌තොගය ලෙස යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000ක් රැගත් නෞකාව පැමිණීමට නියමිතය.

    එම පොහොර තොගයත් සමග ලෝක බැංකු ණය මුදල් යටතේ මෙරටට මේ වනවිට ලැබුණු සම්පූර්ණ යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 35,000කි. මින් පෙර යුරියා මෙට්‍රික් ටොන් 13,000ක් මෙරටට ලැබිනි.

    පළමු යුරියා පොහොර ‌ තොගය චීනයෙන් ලැබුනු අතර දෙවන පොහොර තොගය මැලේසියාවේ සිට ගෙන එනු ලබයි. මෙවර මහ කන්නය සඳහා ඇණවුම් කර ඇති සමස්ත යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 120,000කි.

    මේ වනවිට, දිවයිනේ තිබෙන ගොවි ජන සේවා මධ්‍යස්ථාන 566ක් ඔස්සේ ගොවීන් වෙත වගාවට අවශ්‍ය යුරියා පොහොර ලබා දීම සිදු කෙරේ. අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක හැරෙන්නට අනෙකුත් සියලුම දිස්ත්‍රික්ක සඳහා වී වගා කර හෝ ගොයම් පැළ සිටුවා දින 14කට පසු යොදන පළමු යුරියා මුරය සඳහා අවශ්‍ය පොහොර තොග ලබා දී ඇත.

    නමුත්, ඉහත සඳහන් කළ දිස්ත්‍රික්ක තුන සඳහා මුර තුනටම අවශ්‍ය යුරියා පොහොර දැනටමත් ලබා දී ඇත. ගොවිජන මධ්‍යස්ථාන බාර නිලධාරීන් පවසන්නේ වගාවට අවශ්‍ය යුරියා පොහොරවලින් එම මධ්‍යස්ථානවල ගබඩා පිරී ගොස් ඇති බවයි.

    මේ අතර පසුගියදා (12) මැල්සිරිපුර ගොවිජන මධ්‍යස්ථානයේ දී කොමර්ෂල් පොහොර සමාගම විසින් දෙවන පොහොර මුරය සඳහා අවශ්‍ය යුරියා පොහොර බෙදා හැරීම ආරම්භ කළේය. එම අවස්ථාවට සහභාගි වූ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, අනිද්දාට ලැබෙන පොහොර තොගය මෙන්ම ලබන මස පළමු සතිය තුළ ලැබීමට නියමිත බණ්ඩි පොහොර හෙවත් (මියුරේට් ඔ‌ෆ් පොටෑෂ්) සමග ගොවීන්ට අවශ්‍ය සියලුම පොහොර එකවර බෙදා හැරීමට පියවර ගන්නා ලෙස කොමර්ෂල් පොහොර සමාගමට සහ ලංකා පොහොර සමාගමට උපදෙස් දුන්නේය.

    මෙම අවස්ථාවට කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

    Latest News