වියට්නාමය අසළ මුහුදේ අනතුරට පත් ශ්‍රී ලාංකිකයන් බේරා ගැනේ

නොවැ 08, 2022

    වියට්නාමයට ඔබ්බෙන් වූ මුහුදේදී අනතුරට පත් යාත්‍රාවකින් බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් 300 කට අධික සංඛ්‍යාවක් ආපසු මෙරටට රැගෙන ඒම සඳහා විදේශ අමාත්‍යාංශය පියවර ගනිමින් සිටිනවා.

    මේ සම්බන්ධයෙන් වියට්නාම රජය සමග සාකච්ඡා ආරම්භ කළ බවයි, විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කරන්නේ. දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත් අසළ කලාපයේදී ශ්‍රී ලාංකිකයන් පිරිස ජපාන නෞකාවක් විසින් බේරා ගනු ලැබු බව, විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඔවුන් රැගෙන යමින් තිබුණේ, මියන්මාරයේ ලියාපදිංචි කර තිබූ “ලේඩි ආර් ත්‍රී” නමැති යාත්‍රාවක් මගින්.

    මේ පිරිස කැනඩාව බලා යමින් සිටි නීති විරෝධී සංක්‍රමණිකයින් පිරිසක් බවට සැක කෙරෙන බව, විදෙස් මාධ්‍ය වාර් තා වල දැක්වෙනවා. පිරිමින් 264 ක් කාන්තාවන් 19 ක් හා කුඩා ළමුන් 20 ක් මේ යාත්‍රාවේ සිටි බව, වියට්නාම බලධාරීන් සඳහන් කරනවා.

    ජපාන නැව විසින් බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් පිරිස වියට්නාම බලධාරීන් වෙත බාර ‍කරනු ලැබුවා. ඔවුන් මේ වන විට පසු වන්නේ, එක්සත් ජාතීන්ගේ සංක්‍රමණිකයන් පිළිබඳ ආයතනයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ. අදාළ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාකාරකම් සිදු කෙරෙමින් පවතින බවයි, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත්තේ.

    Last modified on බදාදා, 09 නොවැම්බර් 2022 14:43

    Latest News