හිටපු ජනාධිපති මෛත්‍රීපාලට සහ දයාසිරි ජයසේකරට නොතීසි

ඔක් 13, 2022

    තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීමට ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා වරාය නාවික හා ගුවන් කටයුතු අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනු කළ නඩුව සම්බන්ධයෙන් ලබන 19 වැනි දින අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි දන්වා එම පක්ෂයේ සභාපති හා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර යන මහත්වරු වෙත කොළඹ දිසා අධිකරණය අද නොතීසි නිකුත් කළා.

    අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ගොනු කළ නඩුවක් සලකා බැලීමෙන් පසුව කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය විසින් මෙම නොතීසි නිකුත් කළා.

    සමස්ත ලංකා කාරක සභාව නමින් රැස්වීමක් සංවිධානය කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉකුත් සැප්තැම්බර් මස 02 දා පක්ෂ ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බවත් එම ව්‍යවස්ථා සංශෝධනය මගින් පක්ෂ මහ ලේකම්වරාට ලැබුණු බලතල වලට අනුව තමන්ව තනතුරුවලින් ඉවත් කර ඇති බවට විත්තිකරුවන් ප්‍රකාශ කරන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණය හමුවේ සඳහන් කළා.

    පැවැති බව කියන සමස්ත ලංකා කාරක සභා රැස්වීම සදහා තමන්ටද ආරාධනයක් ලැබුණු බව පවසන නිමල් සිරිපාල ද සිල්වා මහතා එවන් කාරක සභාවකට පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට නීතියානුකූල බලයක් නොමැති බවත් සඳහන් කළා.

    එබැවින් තමා තව දුරටත් පක්ෂයේ තනතුරු දරන බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසත්, සිය තනතුරේ කටයුතු වලට විත්තිකරුවන් හෝ ඔවුන්ගේ නියෝජිතයින් විසින් බාධා කිරීම වැළැක්වීමේ තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් නිමල් සිරිපාල ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරිය විත්තිකරුවන්ට ලබන 19 වනදා අධිකරණ හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා නොතීසි නිකුත් කිරීමට නියෝග කළා.

    Latest News