මුදල් රාජ්‍ය අමාත්‍යවරයා “ජී 24” අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වෙයි

ඔක් 12, 2022

    මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද “ජී 24” අමාත්‍ය මණ්ඩල රැස්වීමට අද සහභාගී වී සිටිනවා.

    “ජී 24” අමාත්‍ය මණ්ඩල සාකච්ඡා පැවැත්වෙන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වාර්ෂික සැසි වාර අතරතුරයි. ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින සෙසු රටවල් රැසක උද්ධමනය, ආහාර අර්බුද, ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම, ගෙවුම් ශේෂ ඇතුළු ආර්ථික අර්බුද රැසක් පිළිබඳ මෙහිදී අවධානය ‍යොමු කෙරෙනු ඇති.

    “ජී 24” ලෙස හඳුන්වන්නේ, ජාත්‍යන්තර මූල්‍ය කටයුතු සහ සංර්ධනය පිළිබඳ 24 දෙනෙකුගෙන් සමන්විත අන්තර් රාජ්‍ය කණ්ඩායමයි. කොවිඩ් 19 වසංගතයෙන් පසු මතු වූ විවිධ නව මූල්‍ය හා ආර්ථික ගැටලු සහ සංවර්ධනය වෙමින් පවතින බොහෝ රටවල මූල්‍යමය අර්බුද පිළිබඳවද ජී 24 අමාත්‍ය මණ්ඩල සාකච්ඡවේ දී අවධානය යොමු වන බව, වාර්තා වනවා.
    ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාව පැවැත්වෙන්නේ ගෝලීය ආර්ථිකය හා සංව‍ර්ධනය වෙමින් පවතින රටවල ආර්ථික සහ මූල්‍ය ස්ථාවරත්වය සම්බන්ධවයි.

    රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ගීතා ගෝපිනාත් මහත්මිය සමගද ඊයේ සාකච්ඡා පැවැත්වුවා. ඒ අමෙරිකාවේ වොෂිංටන් ඩි සී නුවර දී. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ඇතිව, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග ජය ගැනීම හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා කළ බවයි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියා.

    Latest News