පාඨලී චම්පිකගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කෙරේ

මාර් 16, 2022

    2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයකු බරපතල රිය අනතුරකට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

    මෙම නඩුව අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

    එහිදී විත්තිකාර චම්පික රණවක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඕස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව තම සේවාදායකයාට එරට සංචාරය කරන ලෙස ආරාධනාවක් කර ඇති බවත් ඊට සහභාගි වීම සඳහා දැනට අධිකරණය මගින් පණවා තිබෙන විදේශ ගමන් තහනම අප්‍රේල් මස 08 වන දා සිට 27 වන දින තෙක් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පිරිස් මහතා විරෝධය පළ කළේ නැහැ.

    ඒ අනුව විත්තිකරු ඉල්ලා සිටින කාලසීමාව තුළ ඔහුට විදේශගත වීම සඳහා අවසර දෙන ලෙස විනිසුරුවරයා විසින් ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.

    එමෙන්ම විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අප්‍රේල් මස 27 වනදා හෝ ඊට පෙර අධිකරණයට භාර දිය යුතු බවයි විනිසුරුවරයා වැඩිදුරටත් නියෝග කර සිටියේ.

    මෙම නඩුව අද කැඳවනු ලැබූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ දෙවන විත්තිකරු වන දිලුම් තුසිත කුමාර නමැත්තා අපරාධ විධිවිධාන සංග්‍රහයේ 127 වන වගන්තිය යටතේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස්‍ය ප්‍රකාශයක් ලබාදී ඇති බවත් එහි පිටපතක් මහාධිකරණය හමුවට කැඳවීමට නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටියා.

    එම ඉල්ලීම පිලිගත් මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අදාළ ප්‍රකාශයේ පිටපතක් වහාම මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වරයාට සහ එහි අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

    එම පිටපතක් ලැබීමෙන් අනතුරුව එහි අනු පිටපත් පැමිණිල්ල සහ විත්තිය වෙත ලබාදීමට පියවර ගන්නා ලෙසද මහාධිකරණ විනිසුරුවරයා එම අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට නියම කළා.

    විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ විභාගය ලබන අප්‍රේල් 4 වනදා ට නියම කර ඇති බව සඳහන් කළා.

    මෙම නඩුවට අදාළව පැමිණිල්ල විසින් ලබාදී තිබෙන ලේඛනවල අඩුපාඩු තිබේ නම් ඒ පිළිබඳව දැනුම් දීමට අවශ්‍ය හෙයින් අප්‍රේල් මස 4 වන දා ට නියම කර ඇති විභාග දිනය අවලංගු කොට එය කැඳවීම් දිනයක් වශයෙන් නම් කරන ලෙස ජනාධිපති නීතිඥවරයා ඉල්ලා සිටියා.

    එම ඉල්ලීමට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විරෝධය පළ කළා.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුව විභාගය නියම කළ පරිදි අප්‍රේල් මස 4 වනදා ආරම්භ කරන බව දැනුම් දුන් අතර ලේඛන සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් මතු වූවොත් පමණක් එදින කැඳවීම් දිනයක් බවට පත් කරන බව නියෝග කලා.

    2016 වසරේ පෙබරවාරි මස 28 වනදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීතියානුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

    Latest News