ජිනීවා, ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට සම්පූර්ණයෙන් විරුද්ධ ‍වෙනවා - විදේශ ඇමති

ඔක් 07, 2022

    එක්සත් ජාතීන්ගේ 51 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව සම්මත කරන ලද යෝජනාවට විරුද්ධවන බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

    එම යෝජනාවට පක්ෂව රටවල් 20ක්, සහය දී ඇති අතර විරුද්ධව ජන්දය දී ඇත්තේ, රටවල් 07ක් පමණයි. සාමාජික රටවල් 20ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.  

    ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ යෝජනාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඊයේ ඉදිරිපත් කරනු ලැබුවේ අමෙරිකාව, එංගලන්තය, කැනඩාව, උතුරු අයර්ලන්තය, උතුරු මැසිඩෝනියාව, ජර්මනිය, මලාවි සහ ලක්සන්බර්ග් යන රටවල්වලින් සමන්විත මධ්‍යගත කණ්ඩායම විසින්.

    එහිදී අමෙරිකානු එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය, දකුණු කොරියාව, ඇතුළු රටවල් 20ක් මෙම යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇති අතර බොලිවීයාව, කියුබාව, චීනය, පකිස්ථානය ඇතුළු රටවල් 7ක් ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඉන්දියාව, ජපානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් 20ක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.             

    අද ඉදිරිපත් කළ යෝජනාවට කරුණු 19 ක් ඇතුළත්. ඉන් මුල් කරුණු දෙකෙන්ම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර තිබෙනවා. යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන් කර ඇත්තේ, ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදු වූ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කිරීම සඳහායි.

    ආහාර සුරක්ෂිතතාවයේ බිඳ වැටීම,  බරපතල ඉන්ධන හිඟය, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල ආදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි අදාළ යොජනාවලින් දැඩි අවධානය යොමු කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ, ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා, ඊට සහභාගී වූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම, ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩකාරී සිදු වීම්, මරණ, තුවාලවීම් හා දේපළ විනාශ වීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුව තිබෙනවා.

    මානව හිමිකම් කවුන්සිලයට මධ්‍යගත කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.                 

    මෙවර සැසිවාරයට මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවෙන් අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපරාධ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.

    මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හමුවේ,ශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද කරුණු දැක්වුවා.       

    (ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ අනුමැතියකින් හෝ උපදේශනයකින් තොරව ඉදිරිපත් කළ මෙම යෝජනාව ශ්‍රී ලංකාව තරයේ ප්‍රතික්ෂේප කරනවා. මෙම යෝජනාව ප්‍රධාන අනුග්‍රාහක රටවල්වල පරමාර්ථය සපුරාලීමට ඉඩ තිබුණත්, ශ්‍රී ලංකාවට ප්‍රයෝජනවත් වන්නේ නැහැ. අපි මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වනවා ආසියාවේ අප්‍රිකානු සහ ලතින් අමෙරිකානු රටවල් මෙම යෝජනාව සම්පින්ඩනය කරන මුල් අවස්ථාවේ අපෙන් කරුණු විමසීම පිළිබඳව ශ්‍රී ලංකාවේ භාහිර සාක්ෂි එකතු කිරීමේ යාන්ත්‍රණයට තරයේ විරෝධතාවය ප්‍රකාශ කරනවා. ‍දේශීය යාන්ත්‍රණයක් තිබියදී බාහිර පාර්ශවයන් මගින් සාක්ෂි එකතු කිරීම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් වනවා. ආර්ථික සහ මූල්‍ය කෙටුම්පත් යෝජනාව ද අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංසදයේ රාමුවෙන් පිට කරුණක් බැවින්. )

    Latest News